Monday, June 19, 2017

නූතන ජනමාධ්‍යය ක්‍රියාකාරීත්වය සහ ජනමාධ්‍යය ආචාරධර්ම සංග්‍රහයේ වලංගු භාවය



මානව සංහතියේ ආරම්භය දක්වා දිවයන දිගු ඉතිහාසයක් ආචාරධර්ම සඳහා පවතී. ගෝත්‍රික මිනිසා ක්‍රමයෙන් ශිෂ්ට සම්පන්න යුගයකට පිවිසෙන්නේ මේ මානව ආචාර ධර්ම තුළින් ඔහුව මෙහෙයවනු ලැබූ නිසාය. පෙරදිග ආචාරධර්ම බොහොමයක් බිහිව තිබෙන්නේ ආගමික නැඹුරුවක් සහිතවය. ආගමික දර්ශනයේ පවතින හොඳ සහ නරක ආචාරධර්ම උත්පාදනය කිරිමට හේතුවී තිබේ.

ආචාරධර්ම පිළිබඳව ගවේෂණ රැසක් කර තිබෙන දාර්ශනිකයෙකු වූ සී. සී. බ්‍රෝඞ් පවසන්නේ   යහපත් - අයහපත්, හරි-වැරදි, යුතු- අයුතු යන පද වලින් හෝ එම පද වලට සමාන වෙනත් පද වලින්  ආචාර ධර්මානුකුල ලක්ෂණ මතුවන බවයි.

ආචාරධර්මය අපේ චර්යාව හෙවත් හැසිරීම පාදක කොට ගත් ශ්‍රාස්ත්‍රයක් ලෙස හැඳින්වීමට පුළුවන.මෙය සමාජය හා නිරතුරුවම බැඳී පවතී. මෙමඟින් සමාජයේ යහපැවැත්ම හා පොදු යහපත නිර්මාණය කරනු ලබයි.ආචාරධර්මයන් ද ලෝකයේ අනෙකුත් දේ මෙන්ම කලින් කලට වෙනස්වන ආකාරයක් හදුනාගත හැකිය.එනම් විවිධ සමාජයන්හි පවතින ආචාරධර්ම පද්ධති එක් කලෙකදී මහා ඉහළින් පිළිගන්නා සමාජයක් හෝ පුද්ගලයින් තවත් කලෙකදී එය ප්‍රතික්ෂේප කිරිමට ද නොපසුබට වන නිසාවෙනි.

ආචාරධර්මයේ ප්‍රධානතම සංකල්පය නම් පරම යහපත” වේ.මෙය ආචාරධර්ම පද්ධතියේ මූලික  පදනම ද   වේ.සත්‍ය හා සාධාරණත්වය බොහෝ ආචාරධර්ම පද්ධතිවලට ඇතුළත් වන සංකල්පයන් දෙකකි.එමෙන්ම සත්‍ය වෙනුවෙන් සාධාරණ වියයුතුයයන්න සන්නිවේදන ක්ෂේත්‍රයේ මුඛ්‍ය පාඨය වේ .
ජෝන් මැකෙන්සි ආචාරධර්ම පිළිබඳ ව සිය A manual Ethics නම් කෘතියෙන් පැහැදිලි කරන්නේ ආචාරධර්ම අපගේ මානුෂික අත්දැකීම් වල පරම වටිනාකම් අතුරින් එකක් පිළිබඳ ව අධ්‍යයනය කරනු ලබයි. එනම් මනුෂ්‍යයා තුළ පවතින සාධුත්වය ක්‍රියාකිරිම නම් අංශය තුළින් පිළිබිඹු කෙරෙන්නේ මේ අධ්‍යයනයන්යයනුවෙනි.

මාර්ෂල් මැක්ලුහන් ඉදිරිපත් කළ ආකාරයට ලෝකය  විශ්ව ගම්මානයක් බවට පත් වී තිබේ.එම විශ්ව ගම්මානය අද වන විට විශ්ව පවුලක් බවට පත් වී තිබේ.සීමා මායිම් බිඳ හෙලමින් ඇති වී තිබෙන සන්නිවේදන විප්ලවය හමුවේ ලෝකය අද නිරාවරණය වී ඇත.ඒ අනුව නිරාවරණය වෙමින් පවතින ලෝකය සුචරිත  මාවතකට යොමු කරලීම සඳහා ජනමාධ්‍යය, සදාචාර ධර්ම ප්‍රතිපත්ති වලට අනුගත කිරිමට සිදු වී තිබේ.
 ජනමාධ්‍යය ආචාරධර්ම පද්ධතියක් බිහිකිරිමේ මූලික අවශ්‍යතාවය ඇති වූයේ 1920 දශකයේ දී මැද භාගයේ දී පමණය. ජනමාධ්‍ය ආචාරධර්ම ගැන මුලින් ම සඳහන් වන්නේ ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ වාර්තාවෙහිය.

විශේෂයෙන් ම ගුවන් විදුලි ආචාරධර්ම පිළිබඳ ව විමසීමේදී 1930 වන විට BBC ය තමන්ට විශේෂිත වූ ලිඛිත ආචාරධර්ම මාලාවක් සකස් කර ගෙන ඇත.තවද වර්ෂ 1965 දී ලීමා සම්මේලනයේ දී අන්තර් ඇමරිකානු ගුවන් විදුලි සංගමය විසින් ගුවන් විදුලි හා රූපවාහිනී සඳහා  ආචාරධර්ම පද්ධතියක් සකස් කොට ඇත.මෙමගින් ආචාරධර්ම පිළිබඳ උනන්දුවක් දක්වන රටවලට බලපෑමක් එල්ල විය.

ශ්‍රී ලංකාවේ ගුවන් විදුලි ආචාරධර්ම පිළිබඳ සලකා බැලීමේ දී ගුවන් විදුලියට ම විශේෂිත වූ පිළිගත්  ආචාරධර්ම පද්ධතියක් හඳුනාගත නොහැකිය.නමුත් 1966 ගුවන් විදුලි සංස්ථා පනත තුළ ප්‍රවෘත්ති ඉදිරිපත් කළ යුත්තේ කෙසේද යන්න සඳහන් වේ.තවද යුනෙස්කෝව විසින් සකස් කරන ලද ආචාරධර්ම සංග්‍රහය පැවතිය ද එය ක්‍රියාත්මක තත්ත්වයේ නොපවතී.

ඒ අනුව ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යාංශය විසින් සම්පාදනය කරන ලද සියලුම ජනමාධ්‍යයන්ට  පොදු වූ ජනමාධ්‍ය ආචාරධර්ම සංග්‍රහයඉදිරිපත්කර ඇත.ඒ අනුව මාධ්‍යවේදියෙකු විසින් නොකළ යුතු යැයි ආචාරධර්ම සංග්‍රහයේ දක්වා ඇති ක්‍රියාවන් එළිපිටම උල්ලංඝනය කිරීම අද සාමාන්‍යකරණයට පත්ව තිබේ.ගුවන්විදුලිය ක්ෂණික මාධ්‍යයකි.අනෙක් මාධ්‍යයන් සමඟ සැසදීමේදී පෙළඹවීමේ ගුණය වැඩි වශයෙන් පවතී.තවද, ලොකු කුඩා භේදයකින් තොරව සියලු දෙනාම ගුවන් විදුලිය ශ්‍රවණය කරයි.නව මාධ්‍ය තාක්ෂණයත් සමඟ එය තවත්  වර්ධනය වී ඇත.වචන වලට පවතින බලය අසීමිතය.වැරදි ප්‍රකාශන කිරීම තුළින් ඉන් උත්තේජනය වන පිරිස් ද ඇත.සංකීර්ණ සමාජයක ජීවත්වන මිනිසුන් පවතින කාර්යයබහුලත්වය නිසාම දෙවරක් පරික්ෂා නොකොට තොරතුරු ග්‍රහණය කරගනු ලබයි.මෙවැනි තත්ත්වයක් මත ගුවන්විදුලිය තුළින් වැරදි අර්ථකථන සමාජගත වීම නිසා අර්බුධකාරී තත්ත්වයන් ඇතිවීම නොවැළැක්විය හැකි කරුණකි.
 බොහෝ විට ජනමාධ්‍යය ආචාරධර්ම කඩවීමට හේතු සාධක වන ජනමාධ්‍යය ක්ෂේත්‍රයේ සුලභව දක්නට ලැබෙන ජනමාධ්‍ය වැරදි 4 ක් හදුනාගත හැකිය. එනම්
          පක්ෂග්‍රාහී වාර්තාකරණය.
          පණිවිඩ හැසිරවීම හා සාවද්‍ය ලෙස ඉදිරිපත් කිරිම.
          තොරතුරු විකෘතිකරණය.
          භාවාතිෂයවීම.
                ඉහත වැරදි සිදුවීමට මාධ්‍ය අතර පවතින තරඟකාරී ස්වභාවයහිමිකාරිත්වය,ලාභය මුලීක කරගැනීම, ආචාරධර්ම පිළිබඳ නොදැනුවත් බව හේතු වී තිබේ. ආචාරධර්ම සංග්‍රහයේ දක්වා ඇති කරුණු අනුව මාධ්‍යවේදියා ආචාරධර්ම අකුරටම පිළිපැදීම සහ එහි ජීව ගුණයට ගරු කළ යුතුය. මාධ්‍යවේදියා නිරතුරුවම සමාජ වගකීමට සහ සමාජ යහපත උදෙසා බැඳී සිටී.

නමුත් වර්තමාන තත්ත්වය දෙස බැලීමේදී ජනමාධ්‍ය තුළින් ආචාරධර්මයන් ගිලිහීයන ආකාරයක් දැකගත හැකි වේ. ආචාරධර්මයන් හුදු වාචාර්ථයකට පමණක් සීමා වී තිබේ.එය භයානක තත්ත්වයකි. ආචාරධර්මයන් නොමැති තැන අශිෂ්ටත්වය ඉස්මතු වෙයි. අශිෂ්ටත්වය ඉස්මතු වූ තැන මිනිසත්කම පලායයි.මනුෂ්‍යයා තුළින් මිනිසත්කම පලායාම මනුෂ්‍ය සංහතියේ අරාජිකත්වයට සෘජුවම බලපානු ලබන්නේය.

ගුවන් විදුලි මාධ්‍යයට සමාජයක පැවැත්ම, දැක්ම ක්ෂණිකව වෙනස් කිරිමේ හැකියාව පවතී.එවන් මාධ්‍යයක් ආචාරධර්මානුකුලව කටයුතු කිරිම මාධ්‍යයේ පැවැත්මට මෙන් ම ජනතා විශ්වසනීයත්වය රැකගැනිමට ප්‍රබල සාධකයක් වන්නේය.වත්මන් ගුවන් විදුලි වැඩසටහන් වල නම කියූ පමණින් ම හාස්‍යයට හේතු වන්නේය.අරුත්සුන් වූ වාචාර්ථයේ යෙදෙන ගිරා පෝතක පිරිසක් ගුවන් විදුලි මාධ්‍යය තුළ අද වන විට බිහිව තිබේ.මාධ්‍යයේ පැවැත්ම තීරණය වන්නේ මාධ්‍යයේ ක්‍රියාකලාපය තුළිනි.ජනමාධ්‍යයන් කෙතරම් තාක්ෂණික අතින් ඉහළ තත්ත්වයක පැවතියද ආචාරධර්ම පිරිහීයාම තුළින් නැවතත් සමාජය ප්‍රාකෘතික අශිෂ්ටත්වය කරා රැගෙන යාමක් සිදුවනු ඇත.ඒ අනුව අදට අවශ්‍ය වන්නේ කල් ඉකුත් වූ ආචාරධර්ම සංග්‍රහය පුස්කොළ පොත් සමඟ එකට බැද තබා එක් එක් මාධ්‍යයන්ට අවශ්‍ය පරිදි සිතූ සිතූ ලෙස මාධ්‍යය තුළ කටයුතු කිරිම නොව වර්තමානයට ගැලපෙන ප්‍රායෝගික වූ ආචාර ධර්ම සංග්‍රහයක් නිර්මාණය කිරිමය.

ප්‍රකට දාර්ශනිකයෙකු වූ ජෝන් ලොක් ජනමාධ්‍ය නිදහස හා වගකීම පිළිබඳ ව මෙසේ පැවසීය. මා අත ඇති සැරයටිය මට ඕනෑ ලෙස වැනිය හැකිය. එහෙත් මාගේ වැනීම අනෙකාගේ නහය ළඟින් කෙළවර විය යුතුය.යනුවෙනි.




  

No comments:

Post a Comment