ප්‍රමාණය අතින් කුඩා වුව ද ශ්‍රී
ලංකාවේ ඓතිහාසික පසුබිමත්, සංස්කෘතියත් ගැන සළකන කල ඒකීයත්වය තුළ
විවිධත්වයක් පිළිබඳ ලක්ෂණ මනාව පැහැදිලි වේ.එයට කදිම උදාහරණයක් ලෙස වන්නි ප්‍රදේශය
හඳුන්වා දිය හැකිය.වන්නිය යන විශේෂණ පදයෙන් හඳුන්වන ප්‍රදේශය ශ්‍රී ලංකාවේ උතුරු කොටස
වේ.එනම් යාපන අර්ධද්වීපය,
අනුරාධපුරය
සහ ත්‍රිකුණාමලය අතර වූ විශාල භුමි භාගයයි. වන්නිය යන පදය පාලි, සිංහල හා දෙමළ මූලාශ්‍රයන් විවිධ
අයුරින් අර්ථ කථනය කොට ඇත.ඒ අනුව “වන්නිය” යනු කැලෑබද ප්‍රදේශය, වියළි කලාපයට අයත් පාලන ප්‍රදේශය, දෙමල හා සිංහලයන් අතර ඇති විශේෂ කුල ගෝත්‍රයක වාස ප්‍රදේශය යන අර්ථ ප්‍රකට
කරයි.
ශ්‍රී ලාංකික සංස්කෘතිය තුල “උප සංස්කෘතියක් ” ලෙස ද හැඳින්විය හැකි වන්නි ප්‍රදේශයේ
සංස්කෘතික ලක්ෂණ විවිධ ක්ෂේත්‍රවලට වෙන් කොට අධ්‍යයනය කල හැකිය. එහීදී ආගමික සංස්කෘතිය විශේෂ කොට සැලකිය හැකිය. ක්‍රි.පූ
3වන ශතවර්ෂයේදී පමණ ශ්‍රී ලංකාවට
පැමිණුනු බුදු දහම ප්‍රදේශය තුළ පැවතුණු ආගමික සංස්කෘතිය
සමඟ අනුයෝජනය විය.ඒ අනුව මූලික බුද්ධාගමේ ලක්ෂණ තුළට ප්‍රායෝගික දේව, යක්ෂ සහ භුත ඇදහිලි විශ්වාස සම්බන්ධ වී
තිබේ.
ශ්‍රී ලාංකික ආගමික සංස්කෘතියෙහි වෙනත්
කිසිදු ප්‍රදේශයක බල නොපවත්වන අයියනායක දෙවි, කම්බිලි දෙවි,
ඉලන්දාරි
දෙවි, කඩවර සහ පස් දේවතාවෝද හත් කට්ටුවේ
දෙවිවරු ද පුල්ලෙයාර් ඇදහිමද වන්නි ප්‍රදේශයේ ආගමික සංස්කෘතියෙහි ප්‍රධාන ඇදහිලි
හා විශ්වාස අතරට ගැනේ .ඒ අතරින් වන්නි ජනතාව අයියනායක දෙවියන් පිදීම ප්‍රමුඛස්ථානයෙහි
ලා සළකනු ලබයි.
සිංහල සංස්කෘතිය හා ද්‍රවිඩ සංස්කෘතිය
ඇසුරින් නිර්මාණය වූ විශේෂ අන්තර් සංස්කෘතියක් මෙම ප්‍රදේශය තුළ භින්න බැස තිබේ.
විදේශීය ආක්‍රමණයන්ගෙන් ලද බලපෑම ද මෙම සංස්කෘතික හැඩගැසීමට හේතු විය.වන්නිකරයේ
ජනතාවගේ සමාජ ජීවිතය, ආගම, දේශපාලනය, ආර්ථික රටාව ආදී සෑම අංගයක්ම මෙම සංස්කෘතික රාමුව තුළ නිර්මාණය වී
ඇත.ආගමික සංස්ථාව ඒ අතරින් ප්‍රධාන කොට සැලකිය හැකිය. දෙවියන්, යක්ෂයන් විෂයෙහි පුද පෙත් දීම හා ඒ
පිලිබඳ පවත්නා අධික විශ්වාසය මත විවිධ සෙත් ශාන්ති, යාතුකර්ම වල පිහිට අපේක්ෂා කරති.
ශ්‍රී ලංකාවේ උතුරු, මධ්‍යම පලාතේ හා වයඹ පලාතෙත් ගැමි
ජනයාගේ ගෞරවාදරයට හා භක්තියට පත්ව ඇති අයියනායක දෙවියන් අස්වනු සරුසාර කර ගැනීම
සඳහාත්, ආරක්ෂාව හා ලෙඩ රෝගවලින් අත් මිදීම
සඳහාත් පුදනු ලබන දෙවියෙකි. ද්‍රවිඩ සම්භවයක් ඇති මේ දෙවියාට අද්‍යතන වන්නි ප්‍රදේශවල
වෙසෙන ගැමි ජනයා සිංහල සම්භවයක් ඇති දෙවියෙකුට ද වඩා ගෞරවයකින් පුදති. මොහු
අයියනාර්, ඓයනාර්, කයියනාර්, අයියනාරේ, හරිහරපුත්‍ර, මහා සාස්තා ආදි විවිධ නම් වලින්
හඳුන්වනු ලැබේ. රාජ වන්නිය සහ කුමාර වන්නිය යන පලාත් දෙකට ම පොදු වුත් ප්‍රධානත්වය
ලබන්නා වූත් දෙවියා අයියනායකය.
අයියනායක වූ කලී ගම්පල යුගයේ
භුවනෙකබාහු රජුගේ කාලයේ ආර්ය පිරිසක් සමඟ ලංකාවට පැමිණි අයෙකු යැයි වන්නි උපත්
කතාව කියයි. ඉහත නාමය ද්‍රවිඩ නාමයක් බවත් වන්නි පුවත ලියූවෝ ද්‍රවිඩයන් බවත්
ඔවුනට වුවමනා වූයේ තමන් ද්‍රවිඩයන් නොව ආර්යයන් බව ඇඟවීමට සහ තමන් සමඟ පැමිණි දෙවියන්ට මෙ රට
තැනක් ලබා දීම බවත් ඇතැමෙකුගේ අදහසයි.
ග්‍රන්ථාගත වූවද, නොවූවද ජනශ්‍රැතිය ආශ්‍රයෙන් ද
අයියනායක දෙවියන්ගේ උපත් කතාව පිළිබඳව විවිධ මත තිබේ.
එක් සෘෂිවරයෙක් ඊශිවර දැහන වඩා
උමයන්ගනාව අල්ලා ගැනීම පිණිස ඇය පසු පස දිව ගියාය. මෙය දුටු විෂ්ණු දෙවියා ඔවුන්
දුවන අතරමග රූමත් තරුණියක මෙන් මැවී සිටිියේය. තරුණිය දුටු සෘෂිවරයා ඇයට වශී විය.
ඇයගේ දකුණු අතෙහි දරුවෙකු පිළිසිඳ ගත්තාය. මේ දරුවා දකුණු අතින් උපන් හෙයින් “කරේ-නාරේ” නම් විය.ද්‍රවිඩ බසින් “කරේ” යනු දකුණු අත යන්නයි.පසුව මෙය කයියනාරේ, අයියනාර්, අරියනායගම් සහ අවසානයේ අයියනායක නම්
විය.
ඊශ්වර දෙවියා මෝහිණිය දැක ඇය කෙරෙහි
කාමාසාවෙන් ඇය වැළඳ ගත්තේය.එයින් දරුවකු උපන් අතර ඔහු හරිහර නමින් ප්‍රකට විය.පසුව
ඔහු අයියනායක විය.
ශිව-විෂ්ණු දෙදෙනාගේ සමාගමයේ ප්‍රතිඵලය
අයියනායකයි.
අයියනායක දෙවි කවි වලට අනුව හෙතෙම
උපුල්වන් දෙවියන්ගෙන් වරම් ලබා ගෙන මෙහි පැමිණි බවත් ඔහු උපුල්වන්ගේ බලයෙන් මවගේ
දකුණු ඇලය පලාගෙන උපන් බවත් කියවේ.
අයියනායක දෙවියන්ගේ උපත සම්බන්ධව
එකිනෙකට වෙනස් විවිධ කතා පැවතියද පොදුවේ බලන කල අයියනායක උත්පත්තියට ඊශ්වර, උමයන්ගනාව, රාම, විෂ්ණු, උපුල්වන්, ශිව, මෝහිණීය ආදීිහු සම්බන්ධ බව අතීත පුරාවෘත වලට
අනුව පෙනෙයි.
අයියනායක දෙවියන්ගේ ලංකාගමනය පිලිබඳව
මෙන්ම ඔහුගේ පිරිවර සම්බන්ධයෙන්ද විවිධ මත පවතී. අයියනායක වූ කලී ගම්පල භුවනෙකබාහු
රජුගේ කාලයේ ආර්යයන් සමඟ මෙහි පැමිණි අයෙකු බව වන්නි උපත කියයි. අයියනායක යන්න ද්‍රවිඩ
නාමයකි.
අයියනායක දෙවි මෙහි පැමිණියේ උපුල්වන්
දෙවියන්ගෙන් වරම් ලබා ගෙන බවත් බුදුන් වහන්සේගෙන් ලොව රැකීමට අවසර ලබාගත් බව
කියවෙන කෝල්මුර ඇත.ඔහු ඉන්දියාවේ මධුර නුවරින් පැමිණ ලංකාවේ යාපනයෙන් ගොඩ බට වී
තිබේ.
මල්වරා දේශයේ උපන් මොහු විෂ්ණු දෙවියන්
විසින් සිංහල දේශයේ වැව් බැඳි රාජ්‍යයේ ගොවිතැන් කටයුතු දියුණු කිරිම සඳහා යන ලෙස
නියම කලේය.ඔහු තවත් සත් දෙනෙකු සමඟ යාපා පටුනට පැමිණියේය.
කුමාර වන්නි පත්තුවට අයත් වේලාසිය නම්
ස්ථානය ඔහුගේ ප්‍රධාන දේවාලය ලෙස සැලකේ.මෙහි වසරකට වරක් විශාල උත්සවයක් පවත්වන අතර
එහි දී අයියනායක වෙනුවෙන් දේව දානයක් හා අඩුක්කු මංගල්‍යක් පවත්වනු ලබයි.
අයියනායක වේලාසි අයියනායක නමින් ද
හදුන්වන අතර ඔහුට භාෂා 18ක් කතා කළ හැකිය. දිවුල් වැව ඔහුගේ
දේවාලයක් තිබේ. පත්තිනිට හා සමාන බලයක් ඇත.කළු යකා හා ගුරුමා මොහුගේ සහචරයෝය.
දඹුලු විහාරයෙත් හිඟුරක්ගොඩ දිවාලන් ගල්ගේත් මොහු වෙනුවෙන් වෙන් වූ දේවාල
තිබේ.කෝට්ටේ යුගයේ දී මාවටු පටුන නම් නගරය ආසන්නයේ අයියනායක වෙනුවෙන් දේවාලයක්
තිබූ බව කෝකිල සංදේශය කියයි.
අයියනායක දෙවියන් සමග නිරන්තරයෙන් කිසියම්
පිරිසක් සිටිි බව සඳහන් වෙයි. ඔවුන් පස් දේවතාවන් ලෙස හදුන්වනු ලබයි. භාරතයේ
අයියනායක දෙවියන් වටා මාරක යක්ෂයින් පස් දෙනෙකු සිටි. එය අනුගමනය කල ලාංකිකයන්ද
ඔහු වටා පස් දේවතා සංකල්පයක් ඇති කල බව පෙනේ.
අයියනායක දෙවියන් මුළු වන්නි පලාතටම
අරක් ගත් දෙවියන් වන අතර ඔහු පිදිම නිසා විවිධ ස්තෝත්‍ර, බුලත් මඬේ, බුලත් තිහං, බුලත් පිදුම් වැනි සුවිශේෂ පූජා චාරිත්‍ර ඇති විය. අයියනායක
දෙවියන්ගේ ආයුධය වන්නේ ගිනි සළඹයි. ඔහුගේ ශරිරය කාල වර්ණය. වාහනය සුදු ඇතෙකි.
දේවාභරණය වන්නේ රන් බොණ්ඩි වැලකි. දෙමළ භාෂාවේ “බොන්දි” යනු ලී කඩු විශේෂයකි.
දකුණු ඉන්දීයයන් පුදන අයියනායර්
අශ්වයෙකු පිට නැඟි ගමන් කරයි.පල්ලව
සංස්කෘතියේ ආභාෂය පෙන්වන
අනුරාධපුරයේ ඉසුරුමුණීයේ මිනිසා සහ අශ්වයා ලෙස හඳුන්වන කැටයම දකුණු ඉන්දීය
අයියනාර් දෙවියන්ගේ බව මැතක පළ වූ අදහසකි.
අයියනායක දෙවියන්ට කෙරෙන පුද පූජා
පිලිබඳ සලකා බැලිමේදී ඔහුගේ සම්භවය දුරාතීතයට සම්බන්ධවෙයි. ඉපැරණි ගෝත්‍රිකයෝ වනයේ සැරිසරන විට මාර්ගය මතක
තබා ගැනීමට හෝ අනෙකාට දැන ගැනීම සඳහා යන එන මාර්ගයේ අතු කැබැල්ලක් එල්ලීම සිරිතක්
කොට ගත්හ.මෙම සිරිත පසුව අයියනායක දේව සංකල්පය සමඟ මිශ්‍ර විය.
මුට්ටි මංගල්‍යය, වැවි අලුත් සහල් මංගල්‍ය අයියනායක
දෙවියන්ට ගෞරවය සඳහා පවත්වනු ලබන ප්‍රධාන ශාන්තිකර්ම දෙකකි.
අයියනායක දෙවියන් ලංකාවට පැමිණියේ කුමන
කාලයකද යන්න ස්ථිර වශයෙන් කීමට ප්‍රමාණවත් ඓතිහාසික සාධක නැත. එහෙත් පුරාවිද්‍යාඥයන්ට
අනුව දැනට හමු වී ඇති අනුරාධපුර ජේතවනාරාම දාගැබේ වාහල්කඩක ගල්කුලක ඇතෙකුත්, අශ්වයෙකුත්, කුඩා සතෙකුත් සහිත වාහනයක ආරූඪ වී
සිටින ආකාරය පෙන්වන කැටයම අයියනායකගේ විය හැකි බව පවසයි.
දකුණු ඉන්දීය තොරතුරු වලින් කියවෙන
අයියනායක දෙවියන් ඇතුන්, අසුන් හෝ වෙනත් සතුන් පිරිවරා ඔවුන්
පිට නැගී ගමන් කරයි.එමෙන්ම අනුරාධපුර ජේතවනාරාම දාගැබේ වාහල්කඩෙන් හමුවී ඇති
කැටයම් කළ පිලිරුව ලාංකික අයියනායකගේ නම් එය භාරතීය අයියනායක පිලිරුවට සමාන වන
අවස්ථාවකි.
ඉන්දීය අයියනාර් ග්‍රාමාරක්ෂක දෙවියෙකු
ලෙස ගොවි ජනතාව පුද පූජා පවත්වනු ලබයි.ලාංකික අයියනායක දෙවියාද වන්නි ප්‍රදේශයේ ග්‍රාමාරක්ෂක
දෙවියෙකි.වැව, වනය ගොවිතැන් කටයුතු හා ගැමියා ඔහුගේ
ආරක්ෂාව යටතේ පවතී.
භාරතීය අයියනායර්ට බිලි පූජා
නොකරති.ලාංකික අයියනායකට ද බිලි පූජා නොකරන අතර දෙරටෙහිම ඔහු වෙනුවෙන් පලතුරු, කැවුම් කිරිබත්, සුවඳ දුම් පුදති.
ඒ අනුව වර්තමාන උතුරු මධ්‍යම පලාතත්, යාපනය ප්‍රදේශයත් සහ වයඹ පලාතේ පුත්තලම
දිස්ත්‍රික්කයට අයත් කොටසත් ඉතිහාසයේ වැඩිම කාලයක් ද්‍රවිඩ ආක්‍රමණයන්ට යටත්ව
පැවති හෙයින් ඉන්දියානු ද්‍රවිඩ සම්භවයක් ඇති අයියනායක දේව ඇදහිල්ල දිවයිනේ වෙනත්
ප්‍රදේශවලට වඩා ඉහත ප්‍රදේශ වල ජනප්‍රිය වූ දේව ඇදහිල්ලක් බවට පත් විය.
මෙහි පවතින අන්තර් සංස්කෘතික ලක්ෂණ
අනුව හදුනාගත හැකි වන මුඛ්‍ය ලක්ෂණය වන්නේ අයියනායක දෙවියන් ද්‍රවිඩ සම්භවයක් ඇති
ඉන්දීය සංස්කෘතියෙන් පැමිණි අයෙකු බවය. නමුත් ලාංකිකයන් ඔහුගේ ද්‍රවිඩ ලක්ෂණ වසන්
කොට සිංහල ඌරුවට සකස් කර ගෙන තිබේ.ඔහු හදුන්වන්නේද අයියනායක මුත්තා නමිනි. ඔහු
වයෝවෘද්ධ සිංහල ගැමියෙකු ලෙස මූර්තිමත් කර තිබේ.ඇතැම් දේවාල වල ඇතුලත කුටියේ
කිසිවෙකුට දර්ශනය නොවන පරිදි දකුණු ඉන්දීය ඌරුවට මූර්තිමත් කරන ලද අයියනායක පිළිමදැකගත
හැකිය .ඒවා ඉතා කලාතුරකින් දැකිය හැකි වන අතර එම දේවාලයේද ඉදිරිපිට ඇත්තේ අයියනායක
මුත්තාගේ දේව රූපයකි.මෙයින් පැහැදිලි වන්නේ මතු බුදු වෙතැයි සිංහල ගැමියන් විශ්වාස
කරන අයියනායක දෙවි සිංහල බෞද්ධ ගැමියන්ගේ දේව ධූරාවලිය තුළ බෞද්ධ බවට පත් කරගෙන
ඔහු සිංහල ගැමි සමාජ සංස්ථාව තුළට ඈදාගෙන ඇති බවයි.
Best Casino in Las Vegas - Mapyro
ReplyDeletePlay the best 인천광역 출장샵 slots, casino games and entertainment in Las 경주 출장안마 Vegas. See reviews, 강릉 출장안마 hours, directions, and read real customer 김포 출장안마 reviews. Rating: 7.2/10 · 7,955 votes · Price range: 충주 출장안마 $