Thursday, June 1, 2017

ග්‍රාමීය ආර්ථික සංවර්ධනය සම්බන්ධව ශ්‍රී ලංකාවේ සැලසුම්කරණය ප්‍රමාණවත්ද?










ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ආර්ථික සංවර්ධනය පිළිබඳ ඉතිහාසය මෙරට පරිපාලනයේ ඉතිහාසය හා සමගාමී ව ඈත අතීතය දක්වා දිවෙන්නකි. මුළුමනින් ම කෘෂිකාර්මික ආර්ථික රටාවකට  හුරුව සිටි එකල ජනතාව ගමසමාජ හා ආර්ථික ක්‍රියාවලීන්ගේ වැදගත් ම ස්ථානය ලෙස සළකන ලදි.මේ හේතුවෙන් එකල රජවරු පවා ග්‍රාමීය සමාජය මුල්කොට ගත් ග්‍රාමීය සංවර්ධනයට ප්‍රමුඛත්වය දෙන ලදි.කෙසේ වුව ද බටහිර ජාතින්ගේ ආගමනයෙන් පසුව ශ්‍රී ලාංකේය සමාජය ආර්ථික, සමාජයීය, දේශපාලනික හා සංස්කෘතික වශයෙන් විශාල පරිවර්තනයකට බඳුන් විය.එතෙක් මෙරට ආර්ථිකයේ ප්‍රධානතම පාර්ශවකරු වූ සාම්ප්‍රදායික කෘෂිකාර්මික අංශය වෙනුවට වාණිජ වැවිලි කෘෂි ආර්ථිකය ස්ථාපිත වීමත්, ඒ හා ආශ්‍රීත කටයුතු  නාගරික මධ්‍යස්ථානයන්හි සංකේන්ද්‍රණය වීමත් හේතුවෙන් මෙරට ආර්ථික හා සමාජ තත්ත්වයන්හි බරපතල අසමානකම් දෘශ්‍යමාන වන්නට විය.මෙම ග්‍රාමීය නාගරික අසමතුලිතතාව සමනය කොට ආර්ථික ප්‍රතිලාභ ගැමියන් හා දුප්පත් ගොවීන් වෙත ගෙන යාමේ අරමුණින් ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ අවධානය ග්‍රාමීය සංවර්ධනය කෙරෙහි යොමු වීම, මෙරට ග්‍රාමීය සංවර්ධන සංකල්පයේ මූලාරම්භය විය. ලංකාවේ ජනගහනයෙන් සියයට අසූවක් පමණ ග්‍රාමීය ප්‍රදේශ වල වාසය කිරීම,එම ප්‍රදේශ වල දරිද්‍රතාව ඉහළ මට්ටමක පැවතීම, සෞඛ්‍ය, අධ්‍යාපන හා අනෙකුත් යටිතල පහසුකම් පහළ මට්ටමක පැවතීම ආදිය සැළසුම්කරණයේ දී ග්‍රාමීය ප්‍රදේශ සඳහා ප්‍රමුඛතාව ලබා දීමට හේතු විය.

1948 සිට වත්මන් කාල සීමාව දක්වා එදා මෙදා තුර පැවති රජයන් විසින් ග්‍රාමීය සංවර්ධනය සඳහා ගන්නා ලද ප්‍රයත්නයන් හඳුනාගත හැකිය.ග්‍රාම සංවර්ධන සමිති පිහිටු වීම,සමූපාකාර ක්‍රමය පුළුල් කිරීම,හරිත විප්ලවය හඳුන්වා දීම,ගොවි ජනපද ව්‍යාපාරය පුළුල් කිරීම,කුඹුරු පනත ක්‍රියාත්මක කිරිම,මහජන බැංකුව පිහිටුවීම,1954-1960 සය අවුරුදු ආයෝජන වැඩ සටහන,1959-1968 දස අවුරුදු සැලැස්ම,1972-1976 පස් අවුරුදු සංවර්ධන සැලැස්ම මෙරට මුල් කාලීන ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘතීන් අතර වැදගත් වේ.

1978 න් පසු ඇරඹුණු සංවර්ධන ව්‍යාපෘතීන් අතුරින් ඒකාබද්ධ ග්‍රාමීය සංවර්ධන වැඩසටහන ඉතා වැදගත් වේ.ගම්උදාවව්‍යාපාරය තුළින් ශ්‍රී ලංකාව පුරා වෙසෙන ග්‍රාමීය ප්‍රජාව සඳහා නිවාස ඒකක දසලක්ෂයක් ගොඩ නැංවීමත්,පොදු පහසුකම් සැපයීමත් මෙහි අරමුණු විය.දුගීභාවය තුරන් කිරිම අරමුණු කොටගත් ජනසවියවැඩසටහන 1989 වර්ෂයේදී ආරම්භ විය.1995 වසරේ සිට මෙය සමෘද්ධිවැඩසටහන නමින් හඳුන්වන ලදි.2004 න් පසු ග්‍රාමීය සංවර්ධනය ඉලක්ක කරගත් සංවර්ධන වැඩසටහන් ලෙස ගම නැගුම, දිවි නැගුම,සමෘද්ධි සහනාධාර වැඩසටහන් වැදගත් වේ.


නිදහසින් පසු ක්‍රියාත්මක වූ සංවර්ධන සැලසුම් එක් රටාවකට අනුගත නොවූ විවිධ ආකාරයට සකස් කර ඇති බව හඳුනාගත හැකිය.ක්‍රියාත්මක කළ සංවර්ධන වැඩසටහන් වලට සාපේක්ෂව ඉන් අපේක්ෂා කළ අරමුණු, ඉලක්ක කරා ලඟා වීමට හැකි වූයේ අල්ප වශයෙනි.රටේ රාජ්‍ය බලය මාරු වීම,ව්‍යාපෘතීන්ගේ කළමණාකරණ දුර්වලතා සහ දේශපාලන ඇඟිලි ගැසීම් හේතුවෙන් එකී අපේක්ෂිත අරමුණු අසාර්ථක වී තිබේ.ග්‍රාමීය සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරිම මෙන් ම ඒවායෙහි කාර්යක්ෂම හා ප්‍රායෝගිකතාව පිළිබඳව වැඩි අවධානයක් යොමු නොවීම මෙයට ප්‍රබල කරුණකි.රාජ්‍ය බලය මාරු වීමේදී පවතින සංවර්ධන ව්‍යාපෘති තවත් ප්‍රවර්ධනය කරමින් පවත්වාගෙන යාම මිස අතරමග අත්හිටුවීම සංවර්ධන ඉලක්ක කරා ලඟා වීමට බාධාවකි.  එවැනි අවස්ථා වලදී කබලෙන් ලිපටවැටෙන්නේ ග්‍රාමීය ජනතාවය.ඒ අනුව වඩාත් කාර්යක්ෂම ග්‍රාමීය ආර්ථික සංවර්ධනයක් උදෙසා සිදුකළ යුතු වන්නේ දේශපාලනීකරණයෙන් බැහැර වූ ක්‍රමවත් හා ස්ථිතික වැඩ පිළිවෙළක් අනුගමනය කිරීමය.

2 comments: