Friday, August 4, 2017

සෙංකඩගල විරාජමානව වැජඹෙන අපේ උරුමය ...

සිංහලයේ අවසන් අග නගරය වු ලක්දිව කන්ද උඩරට මහනුවර හන්තාන බහිරවකන්ද වැනි කඳු පාමුල පිහිටි ස්වභාව සෞන්දර්යයේ කදිම නිර්මාණයකි. ඉපැරණි රජ මාලිගා සංකීර්ණය ආසන්නයේ ඇති උඩවත්ත කැලේ සුන්දර වන පියසෙකි. පේරාදෙණිය පාලම පසු කළ විට නෙත ගැටෙන පේරාදෙණිය උද්භිද උද්‍යානය මනහර සුවඳ මලින් නන් විසිතුරු තුරු වදුලින් ගහණය. එය දෙස් විදෙස් නරඹන්න්ගේ නෙත් සිත් පිනවන මනෝඥ වු මල් උයනකි. නගරය වට කොට ගලා බසින මහවැලි නදිය හා නගරය මධ්‍යයේහි ඇති කරි සයුර නම් වු නුවර වැව නගරයේ ස්වාභාවික විචිත්‍රත්වය වඩාත් අසිරිමත් කරවයි. පැරණියේදී ශ්‍රී සෙංඛණ්ඩ ශෛලාභිධාන ශ්‍රී වර්ධනපුරය වශයෙන් හැඳින්වු මෙම නගරය පසු කලෙක කන්ද උඩරට මහනුවර වශයෙන් ප්‍රකට විය.



සෙංකඩගල රාජකීය පරිශ්‍රය තුල දළදා මාළිගාව පිහිටා ඇත.සිරි දළදා මාළිගාව ලෙස හඳුන්වන්නේ බුදුරජාණන් වහන්සේගේ දන්ත ධාතූන් වහන්සේ තැන්පත් කර ඇති ගෘහයයි. බෞද්ධයෝ මෙය ගන්ධ කුටියක් හෙවත් බුදුරදුන් වැඩවාසය කරන ගෘහයක් ලෙස සලකති. දළදා වහන්සේට ඔවුන් ගෞරව කරනුයේ ජීවමාන බුදුරදුන් ලෙස පිළිගනිමිනි. මේ නිසා දළදා වහන්සේ ගේ වැඩහිදිනා මැදුර බුදුරදුන් දිවමන් සමයේ වැඩවාසය කළ දඹදිව බරණැස ඉසිපතනාරාමයවේළුවනාරාමයපූර්වාරාමය අදී විහාර මන්දිර හා සම තත්ත්වයේලා සැලකිම බෞද්ධයන්ගේ සිරිතයි.

ලංකාවේ වැඩ සිටිනා 'සිරි දළදා වහන්සේයනු සම්බුද්ධ ආදාහන පූජෝත්සවයෙන් පසු ඉතිරි වූ සිව් දළදාවන් අතරින් එකකි. එය කළිඟු රට දේශපාලන වියවුල් අවස්ථාවක ලංකාවට වැඩම කරනු ලැබුවේ දන්ත කුමරු හා ඔහුගේ සොයුරිය වූ හේමමාලා කුමරිය විසිනි. ඒ ආසන්න වශයෙන් ක්‍රි.ව. 3 වන ශතකයේ දී පමණය. එවකට ලංකාවේ රජු වූයේ කීර්ති ශ්‍රී මේඝවර්ණාභය රජුය. දළදා වහන්සේ ලංකාවේ අති පූජනීය ආගමික වස්තුවක් බවට පත් වූයේ එතැන් සිටය. එහෙත් පසු කාලයේ එය ආගමික වස්තුවක් පමණක් නොව දේශපාලන වටිනාකමක් ඇති වස්තුවක් බවට ද පත්වන්නේ දළදා වහන්සේ හිමි පුද්ගලයා ලංකාවේ රජු සේ පිළිගැනිමක් ඇති වන නිසාය. මේ නිසා ලංකාවේ බලයට පත්වන්නේ යම් අයෙක් ද හේ දළදා වහන්සේගේ නීත්‍යනුකූල භාරකරුවා බවට ද පත් වෙයි. දළදා වහන්සේ ආරක්ෂා කිරීමට ඔහුට ප්‍රවේණි උරුමයක් තිබූ අතර එය සුරැකීම ඔහුගේ රාජ්‍යත්වය ආරක්ෂා කර ගැනීමක් ද විය. මේ නිසා සෑම විටම දළදා මැඳුර ඉදි වූයේ රාජ මාළිගය සමීපයෙනි. එයට විශේෂ ආරක්ෂාවක් ලැබිණි.

පොළොන්නරු යුගයේ දී දළදා වහන්සේට කෙතරම් ආරක්ෂාවක් සැලසී ද යත් මේ සඳහා ම විශේෂයෙන් පුහුණුව ලත් වේලයික්කාර සේනාවක් ඉන්දියාවෙන් ගෙන්වා සේවයේ යොදවා තිබුණි. මේ බව පොළොන්නරුව අටදාගෙය ආසන්නයෙන් ඇති වේලයික්කාර සෙල්ලිපියෙන් පැහැදිලි වේ. මේ ආකාරයට දළදා මාලිගය රජ මාළිගය සමීපයේ දැඩි රැකවල් මැද තිබුණ ද මහජන පුද පූජාවට පාත්‍ර වීම වැලකී ගියේ නැත. විවිධ හේතුකාරණා අනුව දළදා වහන්සේට විවිධ පුද සත්කාර හිමි වූ අතර දළදා වහන්සේ හා බැඳි සංස්කෘතියක් බිහි විය. දූර්භික්ෂ දුරු කිරීමේ හැකියාවක් නියං සමයේ වැසි වැස්සවීමේ බලයක් දළදා වහන්සේට ඇතැයි වැසියෝ විශ්වාස කළහ. මේ නිසා දළදා වහන්සේ නිරනිතරයෙන් ම පුද පූජාවට පාත්‍ර විය. රාජධානිය විවිධ ස්ථාන වලට ගමන් කළ සෑම අවස්ථාවක ම දළදා මාළිගය ද ඒ සමග ම ඒ ඒ ස්ථාන වල ඉදි විය. අප ජීවත් වන යුගයට අදාළව එහි වත්මන් නවාතැන මහනුවර හෙවත් සෙංකඩගල පුරය යි. සෙංකඩගල පුරයේ දළදා මැඳුර ලෝ ප්‍රකට බෞද්ධ ස්මාරකයකි. සෙංකඩගල පුරයේ මුල්වරට දළදා මැඳුරක් ඉදි වූයේ පළමුවන විමලධර්මසූරිය රජ දවසය. එය පළමුව දෙමහල් මන්දිරයක් ලෙස ඉදිකළ  ද පසුව එතුමා විසින් ම එය තෙමහල් මන්දිරයක් බවට පත්කරන ලදි.මහාවංසයේ ද , එළු දළදා වංශයේ ද මේ පිළිබඳ තොරතුරු සඳහන් වේ. එහෙත් මේ දළදා මැදුර වර්තමානයේ අප දකින දළදා මැඳුර ම නොවේ.



මේ රජුට පසු කාලයේ දෙවන විමලධර්මසූරිය රජු ද තෙමහල් දළදා මැඳුරක් කරවූ බව සඳහන් වේ පළමු විමලධර්මසූරිය රජු කර වූ තෙමහල් දළදා මැඳුර දෙවන රාජසිංහ රජ දවස ප්‍රතිසංස්කරණයකට හෝ ප්‍රතිනිර්මාණයකට ලක් කළ බව සඳහන් වේ. ඊට හේතුව පෘතුගීසීන් විසින් මහනුවර නගරයේ දී සිදුකළ විනාශය නිසාය. කෙසේ වූව ද දෙ වන විමලධර්මසූරිය රජු කර වූ තෙමහල් දළදා මැදුර පසුව ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු විසින් ප්‍රතිසංස්කරණය කරවා නව සිත්තම් කරවා අලංකාර කර වූ බව ද ඉතිහාස මූලාශ්‍රය වල සඳහන් වේමෙම සිතුවම්කරණයේ දී ඒ සඳහා ජාතක කතා දෙතිසක් පාදක කර බව ද සඳහන්ය. ශ්‍රී විජය රාජසිංහ රජු දළදා මැඳුර විචිත්‍ර වස්ත්‍රයෙන් අලංකාර කරවීය. මෙහි දී වස්ත්‍ර යන්නෙන් අදහස් වූයේ පෙතිකඩ සිතුවම් ද යන්න අපහැදිලිය. දළදා මාළිගාව දෙස් විදෙස් ප්‍රකට වූයේ ඊට ආසන්නයේ ඉදි වූ ගොඩනැගිල්ලක් නිසාය. ඒ පත්තිරිප්පුවයි. පත්තිරිප්පුව දළදා මැඳුරට එක් වූයේ ලංකාවේ අවසන් රජ ශ්‍රී වික්‍රම රාජසිංහ රජ දවසයි. කෙසේ වූව ද දළදා මැඳුරට ආසන්නව දැනට ඉතිරිව පවතින ගොඩනැගිලි බහුතරය අයත් වන්නේ ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජ දවසටය. එහෙත් මහනුවර දළදා මැඳුරක් මුල්වරට ඉඳිකිරීමේ ගෞරවය හිමි වන්නේ පළමුවන විමලධර්මසූරිය රජතුමාටය.






සාමාන්‍යයෙන් දළදා මැඳුරේ ඊට අනන්‍ය ගෘහ නිර්මාණාංග කිහිපයක් තිබේ. ඉන් ප්‍රධාන නිර්මාණය පත්තිරිප්පුවයි. පත්තිරිප්පුව දළදා මැඳුරට එක් වූයේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජ දවසය. රාජසිංහ රජු මේ නිර්මාණය කළේ පෙරහැර නැරඹීමේ කාර්යය සඳහා යැයි මතයක් තිබේ. පත්තිරිප්පු යනු දමිළ වදනකි. එහෙත් පත්තිරිප්පුව මුල් කාලීනව දළදා මාළිගයේ කොටසක් නොවූ අතර එය දළදා මාළිගයට පූජා කරන ලද්දේ මෑත කාලයේ ය.
මහ වාහල්කඩ යනු මාළිගයට පිවිසීමට ඇති ප්‍රධාන දොරටුව යි. එය දිය අගල මතින් ඇති පාලම සමග සකස් කර ඇත. මේ ආශ්‍රිතව ඇත්තේ උඩර‍ට සම්ප්‍රදායෙන් කළ සඳකඩපහනකි. පූර්ණ නෙළුම සහිතව සත්ත්ව රූපාදියෙන් තොරව ලතාකර්මාදියෙන් සැරසූ මෙහි මූලික හැඩය ත්‍රිකෝණාකාරය. ‍මේ දෙ පස ඇති මුරගල් විශේෂ වන්නේ ඒවායේ ඇත්තේ ඇතෙකු පිට නැඟි ඇත්ගොව්වෙකුගේ සටහනක් වීම නිසා ය. මෙය මුරගලක් ම දැයි තර්කයක් ඇති මුත් මුරගල පිහිටුවන තැන ස්ථානගත කර ඇති නිසා ‍මුරගල නමින් හඳුන්වමු.

මහ වාහල්කඩට පසු අඹරාව හෙවත් උමගය යටින් ගොස් හේවිසි මණ්ඩපයට පිවිසිය හැක. නරේන්ද්‍රසිංහ රජු කරවූ දෙ මහල් දළදා ගෙය මෙතැන දී දැකගත හැක. එහි පහළ මහල පල්ලෙමාල නමින් හැඳින්වෙන අතර ඉහළ මහල උඩුමාල හෙවත් වැඩහිටින මාළිගාව නමින් හැඳින්වේ. පල්ලේමාල කොටස් දෙකකින් යුක්තය. දිග් ගෙය හා මහ අරමුදල නමිනි. රාජමැතිවරුන් හා සාමාන්‍ය ජනයා කලින් කලට දළදා වහන්සේ උදෙසා කළ පරිත්‍යාගයන් තැන්පත් කර ඇත්තේ මහඅරමුදල් ගෙයිහි ය. උඩුමා‍ල දැවමයඇත්දත්මය හා ලෝහමය කැටයමින් අලංකාර කර ඇත්තේ ය. එහි ප්‍රධාන කොටස් 3කි. ගඳකුටියක හෝ විහාරයක හැඩයකින් යුතු ප්‍රධාන දෙ කොටස හඳුන්කුනම නම් වේ. දළදා වහන්සේ වැඩහිටින කොටස වැඩහිටින මාළිගය නම් වේ. සාමාන්‍යයෙන් දළදා ප්‍රදර්ශන පැවත්වෙන්නේ පළමු හඳුන්කුනමේ ය. ඉහළ මහළේ දෙ වැනි කුටියට වම් පසින් ඇති පටු බරාඳය කවිකාර මඩුව නම් වේ. දළදා වහන්සේ උදෙසා සත්කාරක කව් ගී ගැයෙන්නේ මෙහි දී ය. ‍වැඩසිටින කුටිය හා ඒ ආසන්න කුටි දෙක සාමාන්‍ය ව්‍යවහාරයේ දී කත්තියන බරාඳ නමින් ද සෙසු කුටි ගෙපැලුම් බරාඳ නමින් ද හැඳින්වේ. ආ‍ලත්ති බරාඳය නමින් බරාඳයක් ද වෙයි. එය ආලත්ති අම්මාවරුන් උදෙසා වෙන් වී ඇත. සාමාන්‍ය ජනයා පිවිසෙන පියගැටපෙළට අමතරව භික්ෂූන් වහන්සේලා හා තේවා භාර නිළධාරීන් වෙනුවෙන් වෙනම ම පියගැටපෙළක් මෙහි වෙයි. වැඩසිටින කුටියට පසුපසින් ඇති හළු මණ්ඩපයේ ඇත්තේ රජුගේ වස්ත්‍ර හා තේවාවන්ට යොදා ගන්නා සඳුන් ය. 1956 වසරේ කළ ප්‍රතිසංස්කරණ වල දී වැඩසිටින මාළිගය ආ‍වරණය වන සේ දෙ පසින් මහල් ගොඩනැගිලි දෙකක් ඉදිකර තිබේ. ඉන් වම් පැත්තේ ගොඩනැගිල්ල වෙන් කර ඇත්තේ කාරියකරවන රාළගේ කාර්යයන්ටත් භික්ෂූන්ගේ දාන ශාලාවටත් තේවා භාර භික්ෂූන්ගේ කුටිවලටත්ය. අනෙක් ‍ගොඩනැගිල්ල දියවඩන නිළමේ‍ට හා සෙසු නිළධාරීන්ගේ පරිහරණය පිණිස වෙන් වී ඇත. 1956 වසරේ සම්බුද්ධ ජයන්තිය සමරා ඉදි කළ අලුත් මාළිගයේ පී. බී. නුගවෙල නිළමේ අනුස්මරණ කෞතුකාගාරය ස්ථාපනය කර තිබේ.‍




දළදා වහන්සේ තැන්පත් කර ඇත්තේ එකක් තුළ එකක් බැගින් වන සේ තැන්පත් කළ ස්වර්ණමය කරඬු 7කින් හත් වැන්න තුළ ය. දළදා වහන්සේ පෙරහැරේ රැගෙන යන විට තැන්පත් කරන කරඬුව ඇත්තේ දළදා කරඬුවට දකුණු පසිනි. දැනට මහ අරමුදලේ තැන්පත් කර ඇති කරඬුව ඉන්දියාවේ තක්ෂිලාවේ ධර්මරාජික ස්ථූපයෙන්  හමු වූ සර්වඥ‍ ධාතු තැන්පත් කර තිබූ කරඬුව යි.

දියරැලි බැම්ම හෙවත් වලාකුලු බැම්ම ද දළදා මාළිගයේ විශේෂ ගෘහ නිර්මාණ අංගයකි මෙය ද ශ්‍රී වික්‍රම රාජසිංහ රජ දවස ඉදිකළ එකකි. එහි නාමය බිහි වූයේ හැඩය නිසා ද යන්න අපහැදිලි නමුදු දියරැලි හැඩයේ ම මෙබඳු බැමි ඇති නිසා මුල් කාලීන දියරැලි බැම්මක විකාශයකැ'යි සිතිය හැක. මෙහි රටාවක් සේ විහිද ඇති කවුළු එකල පහන් දැල්වීමට සකස් කළ ඒවාය. මේ කවුළු වල පහන් දැල් වූ විට ඇතිවන සුන්දර දසුන මනසින් පවා රස විඳිය හැකිය.

දළදා මැඳුරේ පත්තිරිප්පුව නිමවන්නේ එකල ප්‍රකට නිර්මාණ ශිල්පියෙකු වූ දේවේන්ද්‍ර මූලාචාරී විසිනි. මෙය නිර්මාණය කිරීමේ දී මූලාචාරීන් මුහුණ දුන් විවිධ ගැටළු ආදිය පිළිබඳ විවිධ කතා පුවත් ජන සමාජයේ පවතී. මූලාචාරී හා ඊර්ෂ්‍යාවෙන් පසු වූවන් ඔහු රාජ උදහසට ලක් කරවීම පිණිස විවිධ අකටයුතු සිදුකළ ආකාරය ද එම කතා අනුව සිතාගත හැක.

මාළිගාව ආසන්නයේ ඇති සෙසු විශේෂ නිර්මාණ වන්නේ මඟුල් මඬුව හා රජ මාළිගයයි. මේවා පිළිබඳව ද විවිධ පරීක්ෂණ සිදුකර ඇති අතර විවිධ නිගමනයන්ට ද එළඹ තිබේ. කෞතුක වටිනාකමක් සහිත මේ ගොඩනැගිලි ද වන්දනාකරුවන්ගේ අවධානය දිනාගෙන ඇත.

දළදා මැඳුරේ සිතුවම් ද කලා රසිකයන් අතර ප්‍රකටය. මේ නිර්මාණ වලට අමතරව දළදා මැඳුරේ ඇති අනෙක් ගෘහ නිර්මාණ අංගය නම් දැවයෙන් කළ කුලුනු ය. මධ්‍ය පේකඩ සහිතව කළ මේවා මහනුවර යුගයට ආවේණික හැඩයන්ගෙන් යුක්තය. කුලුනේ පේකඩ විවිධ කැටයම් වලින් අලංකාර කරවා ඇත.
දළදා මාළිගයේ සිත්තම් නිර්මාණය කිරීමේ කාර්යය කීර්ති ශ්‍රී රාජසිංහ රජු විසින් පවරනු ලැබූයේ හිරියාලේ හිත්තර නයි‍දේට ය. මේ සිතුවම් අයත් වන්නේ මහනුවර යුගයේ ශුද්ධ සම්ප්‍රදායටය. මේ සිතුවම් අතරින් ප්‍රධාන දොරටු අභියස සිත්තම් හා තවත් සිත්තම් සමහරක් දොරටියාවේ යූ. ටී. ටී. සිරිල් සිත්තරාවිසින් 1973 වසරේදීප්‍රතිසංස්කරණය කර තිබේ.


දළදා තේවාව-මෙහි තේවාව පැවත්වීම වසරකට වරක් අස්ගිරි හා මල්වතු පාර්ශ්ව අතර හුවමාරු වේ. මාළිගාවේ දිනකට තෙ වරක් තේවාවන් පැවත්වෙන අතර හේවිසි මණ්ඩපයේ දිනකට තෙවරක් පවත්වන හේවිසි නාද පූජාවෙන් මේ තේවාවන් සංකේතවත් වේ.




මධු බඳුන ...






තොල ගාන මධු 
බඳුනක  
පතුල සිඳෙන විට
බැඳි බැමි, බිඳ දමා 
වසං කළ සිත රැගෙන

එයි මමඋතුරා එළියට ...

Tuesday, August 1, 2017

සෙංකඩගල වැළලුණු සුදු ආඩම්බරය - ගැරිසන් සුසානය...




ගැරිසන් සොහොන


දළදා මාලිගය අසල ඇති ජාතික කෞතුකාගාරය මායිම් කරමින් ඇති මාවත ඇදී යන්නේ ගැරිසන් සුසාන භූමිය වෙතටයි. පර්චස් 130ක විශාලත්වයෙන් යුත් මේ බිම්කඩ පළලින් අඩු දිගින් වැඩි බිම් තීරුවක් ලෙස පැතිර තිබෙනවා. කලක් වන වදුලින් වැසී පැවති මේ බිම්කඩ 1998 දී චාල්ස් කුමාරයාගේ ශ්‍රී ලංකා සංචාරය වෙනුවෙන් සංරක්ෂණය කළා. වර්ෂ 2013 දී චාල්ස් කුමාරයා අප රටට පැමිණි විටත් මෙම සොහොන් බිම නැරඹීමට ගියා. ගැරිසන් කියා කියන්නේ යුද්ධ සෙබළුන්ගේ රැඳවුම් පොළටයි. ඉංග්‍රීසි කාලයේ මෙහි යුද්ධ සෙබළ රැඳවුම් ස්ථානයක් තිබෙන්නට ඇති. මෙය පුරාවිද්‍යාත්මකවත් වටිනා ස්මාරකයක්.

අවුරුදු 133ක් අප රට පාලනය කළ ඉංග්‍රීසින්ගේ අමිහිරි මතක සටහන් අපට ස්මරණය කරවන තැනක් තමයි ගැරිසන් සොහොන. මෙම සුසානයේ ඇත්තේ ක්‍රිස්තියානි බැතිමත් ඉංග්‍රීසි ජාතිකයන්ගේ සොහොන් කොත් පමණයි. මෙහි සැතපෙන බොහෝ දෙනා අඩු වයසින් මියගිය අය බව සොහොන් කොත්වල සටහන් කියවන විට පේනවා. මෙය මුලින්ම භාවිත කර ඇත්තේ 1817දී. අවසන් වරට භූමදානය කර ඇත්තේ 1909දී. මහනුවර මහයියාව සුසානය ආරම්භ කිරීමත් සමඟ මෙහි වැදගත්කම අඩුවෙලා ගිහින්. අදටත් මෙහි සොහොන් කොත් කදිමට ආරක්ෂා වී තිබෙනවා. 1820-1870 අතර කාලෙ මිහිදන් උන බ්‍රිතාන්‍ය ජාතිකයින් 190ත් 200ත් අතර දෙනෙක්ගෙ කතා මෙතන වැලලිල තියෙනව.ඒ අතර කවුරුත් නිතර අහල තියෙන ජෝන් ඩොයිලි,ග්‍රෙගරි ආණ්ඩුකාරයගෙ බිරිඳ එලිසබත් වගෙම පුංචි අතදරුවො පවා ඉන්නව.




කපිතාන් මැක්ග්ලෑෂන්ගේ සොහොන් ඵලකය


 ඔහු නමින් කපිතාන් ජේම්ස් එඩ්වර්ඩ් මැක්ග්ලෑෂන්.වෝටලූ සටනෙදි වගේම බසාකෝ,ඇල්බියුරා වගෙ සටන්වලදි රැජිනගෙ 19වැනි රෙජිමේන්තුව වෙනුවෙන් සටන් වැදුනු සම්මානලාභී රණ ශූරයෙක්.දරුණු සතුරු බලමුලු මැද්දෙ ජීවිතේ බේරගෙන යුධ වැදුනු බ්‍රිතාන්‍ය සෙන්පතියෙක්.1817දි 1වෙනි සිලෝන් රෙජිමේන්තුවට අනුයුක්ත වෙන කපිතාන් ජේම්ස් ටිකක් මුරණ්ඩු හිතුවක්කාරය.තමන්ගෙ සගයො එපා කියල දහ අතේ අනතුරු අඟවද්දි කපිතාන් ත්‍රිකුණාමලේ ඉඳන් නුවරට පයින්ම එන්න පිටත් වෙනව.එන ගමන හරිම දුෂ්කරයි.විශේෂයෙන්ම ඝර්ම කලාපයෙ ඔරොත්තු නොදෙන ආර්ද්‍රතාවයි රස්නෙයි දරාගෙන වගුරු දියකඩිති වදුලු මැදින් මේ එන ගමන කොහොමහරි නුවරට ඇවිත්ම තමයි ඉවර වෙන්නෙ.මෙ සිදුවීම් සිද්ධ වෙන්නෙ නොවැම්බර් මාසෙ අග හරියෙදි. ඇවිත් ටික දවසකින් කපිතාන් දරුණු උණකට ගොදුරු වෙනව.කොච්චර වීරය උනත් මේ උණට නං කපිතාන් තමන්ගෙ ජීවිතෙන්ම පරාද වෙනව.ඒ හරියටම දෙසැම්බර් 2වැනිද.

ඔයාල ඒ ඇහුවෙ යටත් විජිත කාලෙ අපේ රට පාලනය කරපු හුඟාක් බ්‍රිතාන්‍ය සෙබලු අත්විඳපු මරණයෙ එක් උදාහරණයක්.අපේ සෙබලුන්ගෙ කඩුවට වඩා සුදු ජීවිත බිලිගන්න සමත් උනා ඒ කාලෙ හිටපු මදුරුවො.මේ අපේ ඉතිහාසයෙම අපි බොහොම හැල හැප්පිලි,කැරලි කෝලාහල මැද ජීවත් උන කාලයක්.නමුත් ඉතිහාසය කියන කාරණාවෙදි  අපිට අමිහිරි මතක එක් කලත් මේ සමය ලංකාවෙ අනාගතය වෙනස් කරන්න සමත් උනු තීරක කාල පරිච්ඡේදයක්.මම කියපු කතාවෙ කපිතාන්ගෙ සොහොන් ඵලකය තමා කතාව මුලදිම ඔබ දක්කෙ.මේක අපි නිතර දෙවේලෙ යන තැනක් ලඟ තිබ්බත් හුඟක් දෙනා මේක දැකල නැතුව ඇති.අපිට කපිතාන් මැක්ග්ලෑෂන් විතරක් නෙවෙයි මේ වගෙ කතා සියගණනක අයිතිකාරයො හම්බෙන්න පුලුවන් ගැරිසන් සුසානයෙදි.

ජෝන් ඩොයිලිගෙ සොහොන 
.


ග්‍රෙගරි ආණ්ඩුකාර බිරිඳගෙ සොහොන


 මෙතනට ගියාම අපිට හම්බෙනව මෙතන භාරකාරය.ඔහු නමින් චාල්ස් කාමයිකල්.ඔහු මේ සුසානය බොහොම පිලිවෙලට පවත්වගෙන යනව.මෙතනට යන ඕනෙම කෙනෙක්ට මෙහෙ තියෙන හැම ඵලකයකම හැංගිල තියෙන කතාව බොහොම රසාලිප්තව ඉංග්‍රීසියෙන් කියල දෙන්න කාමයිකල් උන්නැහේ සමත්.ඉඳල හිටල ගැරිසන් සොහොනට එන සංචාරකයන්ට අමතක නොවෙන කතාරසයක් දනවන්න,එක් කරන්න පුලුවන් පුද්ගලයෙක් ඔහු.සොහොනට අමතරව ඒ ලඟම පොඩි කටුගෙයකුත් තියෙනව.කාලයක් වල්බිහිවෙල තිබ්බ මේ තැන පහුගිය කාලෙක සිද්ධ උන චාල්ස් කුමාරයගෙ ලංකා ගමනට සමගාමීව හෙලිපෙහෙලි කෙරිල තියෙනව.ඉතින් මම මීට වඩා මේ තැන ගැන කියන්න යන්නෙ නෑ මොකද ඊට වඩා ලේසියි ඔයගොල්ලො හැමෝටම මාලිගාවට ආපු වෙලාවක පැය භාගයක් විතර වෙන් කරගෙන මෙතනට එන එක.


පරාක්‍රමබාහු රජු උපන් තැන, දැදිගම කොට වෙහෙර ..




දැදිගම යනු ශ්‍රී ලංකාවේ ඓතිහාසික නගරයකි. අවම වශයෙන් මධ්‍ය ශිලා යුගයේ දී මෙම ප්‍රදේශය ජනාවාසව පැවැති බව නිශ්චය කර ගැනීමට හැකි සාධක ප්‍රදේශයෙන් හමු වී තිබේ. පුරාතනයේ මෙම ග්‍රාමය හඳුන්වා ඇත්තේ පුංඛගාමයනුවෙන් ය. එසේම ජාතගාම, දැතිගම, පිලගම ආදී නම් වලින් පැරැණි ලේඛනයන්හි මෙන්ම වංශ කතාවන්හි දී ද හැඳින්වෙන්නේ අද අපට හමුවන මේ දැදි- ගම නම් ග්‍රාමය ය. පාලි භාෂාවෙන් පුංඛයන්නෙහි අර්ථය ඊතලයෙහි පිටුපස නොහොත් පිහාටුව නම් කොටස ය. එය දැත්ත ලෙසින් ද සිංහලෙන් හඳුන්වන අතර පුංඛගාමනොහොත් දැතිගම දිගු ගමනක් ආ කට වහර විසින් දැදිගම බවට පත්කර තිබෙයි.දැදිගම කොටවෙහෙර නමින් ප්‍රකට මෙම ස්තූපයසූතිඝර චෛත්‍ය වශයෙන් ද හඳුන්වනු ලැබේ. කොටවෙහෙර වෙත ළඟා විය හැක්කේ කොළඹ නුවර මාර්ගයේ නෙළුන්දෙනිය හන්දියෙන් ගලපිටමඩ මාර්ගයේ කි.මීටර් 3 ක් පමණ ගමන් කිරීමෙනි. අවිස්සාවේල්ල කෑගල්ල මගෙහි පිටගල්දෙනිය හන්දියෙන් හැරී තුංතොට හරහා ද මෙතැනට පැමිණිය හැකි වෙයි.

මානාභරණ නම් යුවරජතුමා දොළොස්වන ශත වර්ෂයේ දී දක්‍ෂිණ දේශයේ පාලකයා ලෙස දැදිගම කේන්ද්‍රස්ථානය කර ගනිමින් ප්‍රදේශය පාලනය කළේ ය. එතුමාගේ බිසව වූයේ රත්නාවලී නම් කුමරියයි. රත්නාවලී බිසව දැදිගම, යම් ස්ථානයකදී පින්වත් කුමරකු බිහි කළා ය. දරුවකු බිහිකරන තැනට අප වහරන්නේ තිඹිරිගෙයවශයෙනි. මෙසේ මෙම තිඹිරිගෙය තුළ දී බිහිවන කුමරා, එසේ මෙසේ කෙනකු නොවන බව පසක් වන්නේ කාලයාගේ ඇවෑමෙනි.

ලංකා රාජ වංශයේ ශ්‍රේෂ්ඨ රජවරයකු වශයෙන් ත්‍රි සිංහලයම එක්සේසත් කරමින් මහත් කීර්තියක් ඉසිලූ මහා පරාක්‍රමබාහු රජතුමා (ක්‍රි.ව. 1153 – 1186 ) ලෙස රාජාභිෂේක ලබන්නේ මෙසේ උපදින පුත් කුමරුවා ය.

කුමරා උස් මහත් වී කලක් මායා රටේ ප්‍රාදේශීය පාලකයා බවට පත් වෙයි. එතුමා යුව රජු වශයෙන් සිටි කාලයේ දී තමා උපන් ස්ථානය සිහිවීම පිණිස තිඹිරිගෙය තිබූ තැන කුඩා ස්තූපයක් ගොඩනඟයි. පසුව මුළු රටම එක්සේසත් කරන මෙම මහීන්ද්‍රයාණන් ඉන් අනතුරුව එම කුඩා ස්තූපය මැදිකොට මහා ස්තූපයක් ගොඩනංවනු ලබන අතර දැදිගම කොටවෙහෙර නොහොත් සූතිඝර චෛත්‍ය වශයෙන් ප්‍රකට වන්නේ එයයි. කොටවෙහෙර යනුවෙන් වහරන්නේ කොත් කැරැල්ලක් රහිත විශේෂ දාගැබ් ආකෘතියක් බව ඇතැම් පුරා විද්‍යාඥයෝ හඳුන්වනු ලබති.

1947
වසරේ සිට ආචාර්ය චාල්ස් ගොඩකුඹුරේ මහතා විසින් කළ කැණීම්හිදී කොටවෙහෙර සම්බන්ධව තොරතුරු රාශියක් අනාවරණය කරගනී. දැනට චෛත්‍යයේ වට ප්‍රමාණය අඩි 804 ක් ද උස අඩි 47 ක් ද වෙයි. 1951 වසරේ දී චෛත්‍ය තුළ වූ ධාතු ගර්භ 10 ක් තහවුරු කර ගන්නා ලදී. මෙම පුරාවිද්‍යාත්මක ගවේෂණයන්හිදී රජතුමා ප්‍රථමයෙන් ගොඩනැඟූ ස්තූපයත් ඒ තුළ මෙන්ම මහා ස්තූපයේ වූ ධාතු ගර්භ කීපයක් නිරාවරණය කර ගැනීමට හැකියාව ලැබේ.

එක් ධාතු ගර්භයක තිබී හමු වූ දැදිගම ලෝකඩ ඇත්පහන අද ලෝක ප්‍රසිද්ධ වී තිබෙයි. මෙම බුහුටි පහන හෙළ කලාකරුවාගේ අභිමානයේ ආලෝකය දියත පුරා විහිදුවීමට සමත් වූ විශිෂ්ට නිර්මාණයකි. විශ්මිත නූතන තාක්‍ෂණික ලෝකය පවා මවිත කරවන සුළු මෙම ඇත් පහන කොළඹ කෞතුකාගාරයේ මහජන ප්‍රදර්ශනය සඳහා තැන්පත් කර ඇත. එය දම් වැලකින් එල්ලා තැබිය හැකිසේ නිමවූවකි. තෙල් පුරවනු ලබන්නේ ඇතාගේ කුසටය. ඇතා සිටගෙන සිටින වෘත්තාකාර තැටිය වටේට තිර යොදනු ලැබෙයි. තෙල් ගලාගෙන එන්නේ එහි දැවෙන තෙල් ප්‍රමාණය අනුවය. තැටියේ තෙල් පිරෙන විට වැඩිපුර තෙල් ගලා ඒම ස්වයංක්‍රීයව නවතියි. එය එසේ වීමට උපයෝගී කරගෙන ඇත්තේ වායු පීඩනය නම් න්‍යායයි. මේ නිසා පහනේ තෙල් උතුරා යාමක් සිදු නොවේ. පහන එල්ලා තැබීමට යොදා ගත් දම්වැල පවා නැට්ටුවන්ගේ සහ බෙරවාදකයන්ගේ රූප දම්වැල් පුරුක් සේ සාදා ඇතා පිටෙහි ඇත්ගොව්වකු හිඳවා සම්පූර්ණ ඇතා මැදි- වන සේ මකර තොරණක් ද යොදා පහනට ඉතා විචිත්‍රවත් පෙනුමක් ලබා දී තිබෙයි. මෙවන් සුළු දෙයක් පවා ඉතාමත් ආකර්ෂණීය ලෙස නිර්මාණය කිරීමට පෙළඹීමෙන් එදා ශිල්පියා සතු විද්‍යාත්මක ඥානය මෙන්ම කලාත්මක නිමැවුම් ගුණය එකසේ සංකලනය වී ඇති බව මෙවන් පුරාවස්තූන් තුළින් කදිමට සනාථ වෙයි.

එසේම රන් තහඩුවෙන් කළ බුද්ධ ප්‍රතිමාව පොළොන්නරු යුගයේ කාසි, පද්මාකාර දා ගැබේ ආකෘතිය, මැණික් ගිල් වූ ධාතු කරඬුවක්, ලෝකඩ සහ මැටි පහන්, වටිනා පාෂාණ ආදී නිධන් වස්තූන් ද ධාතු ගර්භයෙන් හමු වී තිබේ. මේ සියල්ල පරයන අපූරුම දෙය වන්නේ කුඩා ස්තූපයේ දා ගැබ තුළ තිබී හමු වූ තරමක් විශාල මැටි කොරහ ය. පුරා විද්‍යාඥයන් අනුමාන කරන්නේ කිරිකැටි කුමරු නෑවීම සඳහා මෙම කොරහ උපයෝගී කර ගන්නට ඇති බවය. කුමරා උපන් තිඹිරිගෙය මත මෙවන් මහා ස්තූපයක් ගොඩනංවා ඒ තුළ මැටි කොරහද නිධන් කරමින් රජතුමා තිඹිරිගෙයත් නෑවූ කොරහත් පූජනීය ස්මාරකයන් වශයෙන් සලකා ඇති බව පෙනෙයි.

පරාක්‍රමබාහු යුගයේ දී මෙම චෛත්‍යය කළ බවට සාධක තහවුරු කරගත හැකි පොළොන්නරු යුගයේ රේඛාමය ලක්‍ෂණ සහිත සිතුවම් දොළොස්වන සියවසට අයත් අක්‍ෂර සහිත ගල් පුවරුව ආදි දෑ ඉතිහාසයේ නිශ්චිත සලකුණු වෙනුවෙන් සාක්‍ෂි සපයනු ලබයි.

මෙසේ කිරිසුවඳැති මතකයට පූජනීයත්වයක් එක් කළ මිනිසා බෞද්ධ සංස්කෘතිකාංගයන්ගෙන් පෝෂණය ලබමින් සුන්දර නිර්මාණයන්ගෙන් ශිෂ්ටාචාර ගමන් මඟ සරසමින් ශ්‍රේෂ්ඨත්වයත් විශිෂ්ටත්වයත් දැදිගම කොටවෙහෙර තුළ සදානුස්මරණීය ලෙස තැන්පත් කර තිබේ.