Monday, June 19, 2017

නූතන ජනමාධ්‍යය ක්‍රියාකාරීත්වය සහ ජනමාධ්‍යය ආචාරධර්ම සංග්‍රහයේ වලංගු භාවය



මානව සංහතියේ ආරම්භය දක්වා දිවයන දිගු ඉතිහාසයක් ආචාරධර්ම සඳහා පවතී. ගෝත්‍රික මිනිසා ක්‍රමයෙන් ශිෂ්ට සම්පන්න යුගයකට පිවිසෙන්නේ මේ මානව ආචාර ධර්ම තුළින් ඔහුව මෙහෙයවනු ලැබූ නිසාය. පෙරදිග ආචාරධර්ම බොහොමයක් බිහිව තිබෙන්නේ ආගමික නැඹුරුවක් සහිතවය. ආගමික දර්ශනයේ පවතින හොඳ සහ නරක ආචාරධර්ම උත්පාදනය කිරිමට හේතුවී තිබේ.

ආචාරධර්ම පිළිබඳව ගවේෂණ රැසක් කර තිබෙන දාර්ශනිකයෙකු වූ සී. සී. බ්‍රෝඞ් පවසන්නේ   යහපත් - අයහපත්, හරි-වැරදි, යුතු- අයුතු යන පද වලින් හෝ එම පද වලට සමාන වෙනත් පද වලින්  ආචාර ධර්මානුකුල ලක්ෂණ මතුවන බවයි.

ආචාරධර්මය අපේ චර්යාව හෙවත් හැසිරීම පාදක කොට ගත් ශ්‍රාස්ත්‍රයක් ලෙස හැඳින්වීමට පුළුවන.මෙය සමාජය හා නිරතුරුවම බැඳී පවතී. මෙමඟින් සමාජයේ යහපැවැත්ම හා පොදු යහපත නිර්මාණය කරනු ලබයි.ආචාරධර්මයන් ද ලෝකයේ අනෙකුත් දේ මෙන්ම කලින් කලට වෙනස්වන ආකාරයක් හදුනාගත හැකිය.එනම් විවිධ සමාජයන්හි පවතින ආචාරධර්ම පද්ධති එක් කලෙකදී මහා ඉහළින් පිළිගන්නා සමාජයක් හෝ පුද්ගලයින් තවත් කලෙකදී එය ප්‍රතික්ෂේප කිරිමට ද නොපසුබට වන නිසාවෙනි.

ආචාරධර්මයේ ප්‍රධානතම සංකල්පය නම් පරම යහපත” වේ.මෙය ආචාරධර්ම පද්ධතියේ මූලික  පදනම ද   වේ.සත්‍ය හා සාධාරණත්වය බොහෝ ආචාරධර්ම පද්ධතිවලට ඇතුළත් වන සංකල්පයන් දෙකකි.එමෙන්ම සත්‍ය වෙනුවෙන් සාධාරණ වියයුතුයයන්න සන්නිවේදන ක්ෂේත්‍රයේ මුඛ්‍ය පාඨය වේ .
ජෝන් මැකෙන්සි ආචාරධර්ම පිළිබඳ ව සිය A manual Ethics නම් කෘතියෙන් පැහැදිලි කරන්නේ ආචාරධර්ම අපගේ මානුෂික අත්දැකීම් වල පරම වටිනාකම් අතුරින් එකක් පිළිබඳ ව අධ්‍යයනය කරනු ලබයි. එනම් මනුෂ්‍යයා තුළ පවතින සාධුත්වය ක්‍රියාකිරිම නම් අංශය තුළින් පිළිබිඹු කෙරෙන්නේ මේ අධ්‍යයනයන්යයනුවෙනි.

මාර්ෂල් මැක්ලුහන් ඉදිරිපත් කළ ආකාරයට ලෝකය  විශ්ව ගම්මානයක් බවට පත් වී තිබේ.එම විශ්ව ගම්මානය අද වන විට විශ්ව පවුලක් බවට පත් වී තිබේ.සීමා මායිම් බිඳ හෙලමින් ඇති වී තිබෙන සන්නිවේදන විප්ලවය හමුවේ ලෝකය අද නිරාවරණය වී ඇත.ඒ අනුව නිරාවරණය වෙමින් පවතින ලෝකය සුචරිත  මාවතකට යොමු කරලීම සඳහා ජනමාධ්‍යය, සදාචාර ධර්ම ප්‍රතිපත්ති වලට අනුගත කිරිමට සිදු වී තිබේ.
 ජනමාධ්‍යය ආචාරධර්ම පද්ධතියක් බිහිකිරිමේ මූලික අවශ්‍යතාවය ඇති වූයේ 1920 දශකයේ දී මැද භාගයේ දී පමණය. ජනමාධ්‍ය ආචාරධර්ම ගැන මුලින් ම සඳහන් වන්නේ ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ වාර්තාවෙහිය.

විශේෂයෙන් ම ගුවන් විදුලි ආචාරධර්ම පිළිබඳ ව විමසීමේදී 1930 වන විට BBC ය තමන්ට විශේෂිත වූ ලිඛිත ආචාරධර්ම මාලාවක් සකස් කර ගෙන ඇත.තවද වර්ෂ 1965 දී ලීමා සම්මේලනයේ දී අන්තර් ඇමරිකානු ගුවන් විදුලි සංගමය විසින් ගුවන් විදුලි හා රූපවාහිනී සඳහා  ආචාරධර්ම පද්ධතියක් සකස් කොට ඇත.මෙමගින් ආචාරධර්ම පිළිබඳ උනන්දුවක් දක්වන රටවලට බලපෑමක් එල්ල විය.

ශ්‍රී ලංකාවේ ගුවන් විදුලි ආචාරධර්ම පිළිබඳ සලකා බැලීමේ දී ගුවන් විදුලියට ම විශේෂිත වූ පිළිගත්  ආචාරධර්ම පද්ධතියක් හඳුනාගත නොහැකිය.නමුත් 1966 ගුවන් විදුලි සංස්ථා පනත තුළ ප්‍රවෘත්ති ඉදිරිපත් කළ යුත්තේ කෙසේද යන්න සඳහන් වේ.තවද යුනෙස්කෝව විසින් සකස් කරන ලද ආචාරධර්ම සංග්‍රහය පැවතිය ද එය ක්‍රියාත්මක තත්ත්වයේ නොපවතී.

ඒ අනුව ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යාංශය විසින් සම්පාදනය කරන ලද සියලුම ජනමාධ්‍යයන්ට  පොදු වූ ජනමාධ්‍ය ආචාරධර්ම සංග්‍රහයඉදිරිපත්කර ඇත.ඒ අනුව මාධ්‍යවේදියෙකු විසින් නොකළ යුතු යැයි ආචාරධර්ම සංග්‍රහයේ දක්වා ඇති ක්‍රියාවන් එළිපිටම උල්ලංඝනය කිරීම අද සාමාන්‍යකරණයට පත්ව තිබේ.ගුවන්විදුලිය ක්ෂණික මාධ්‍යයකි.අනෙක් මාධ්‍යයන් සමඟ සැසදීමේදී පෙළඹවීමේ ගුණය වැඩි වශයෙන් පවතී.තවද, ලොකු කුඩා භේදයකින් තොරව සියලු දෙනාම ගුවන් විදුලිය ශ්‍රවණය කරයි.නව මාධ්‍ය තාක්ෂණයත් සමඟ එය තවත්  වර්ධනය වී ඇත.වචන වලට පවතින බලය අසීමිතය.වැරදි ප්‍රකාශන කිරීම තුළින් ඉන් උත්තේජනය වන පිරිස් ද ඇත.සංකීර්ණ සමාජයක ජීවත්වන මිනිසුන් පවතින කාර්යයබහුලත්වය නිසාම දෙවරක් පරික්ෂා නොකොට තොරතුරු ග්‍රහණය කරගනු ලබයි.මෙවැනි තත්ත්වයක් මත ගුවන්විදුලිය තුළින් වැරදි අර්ථකථන සමාජගත වීම නිසා අර්බුධකාරී තත්ත්වයන් ඇතිවීම නොවැළැක්විය හැකි කරුණකි.
 බොහෝ විට ජනමාධ්‍යය ආචාරධර්ම කඩවීමට හේතු සාධක වන ජනමාධ්‍යය ක්ෂේත්‍රයේ සුලභව දක්නට ලැබෙන ජනමාධ්‍ය වැරදි 4 ක් හදුනාගත හැකිය. එනම්
          පක්ෂග්‍රාහී වාර්තාකරණය.
          පණිවිඩ හැසිරවීම හා සාවද්‍ය ලෙස ඉදිරිපත් කිරිම.
          තොරතුරු විකෘතිකරණය.
          භාවාතිෂයවීම.
                ඉහත වැරදි සිදුවීමට මාධ්‍ය අතර පවතින තරඟකාරී ස්වභාවයහිමිකාරිත්වය,ලාභය මුලීක කරගැනීම, ආචාරධර්ම පිළිබඳ නොදැනුවත් බව හේතු වී තිබේ. ආචාරධර්ම සංග්‍රහයේ දක්වා ඇති කරුණු අනුව මාධ්‍යවේදියා ආචාරධර්ම අකුරටම පිළිපැදීම සහ එහි ජීව ගුණයට ගරු කළ යුතුය. මාධ්‍යවේදියා නිරතුරුවම සමාජ වගකීමට සහ සමාජ යහපත උදෙසා බැඳී සිටී.

නමුත් වර්තමාන තත්ත්වය දෙස බැලීමේදී ජනමාධ්‍ය තුළින් ආචාරධර්මයන් ගිලිහීයන ආකාරයක් දැකගත හැකි වේ. ආචාරධර්මයන් හුදු වාචාර්ථයකට පමණක් සීමා වී තිබේ.එය භයානක තත්ත්වයකි. ආචාරධර්මයන් නොමැති තැන අශිෂ්ටත්වය ඉස්මතු වෙයි. අශිෂ්ටත්වය ඉස්මතු වූ තැන මිනිසත්කම පලායයි.මනුෂ්‍යයා තුළින් මිනිසත්කම පලායාම මනුෂ්‍ය සංහතියේ අරාජිකත්වයට සෘජුවම බලපානු ලබන්නේය.

ගුවන් විදුලි මාධ්‍යයට සමාජයක පැවැත්ම, දැක්ම ක්ෂණිකව වෙනස් කිරිමේ හැකියාව පවතී.එවන් මාධ්‍යයක් ආචාරධර්මානුකුලව කටයුතු කිරිම මාධ්‍යයේ පැවැත්මට මෙන් ම ජනතා විශ්වසනීයත්වය රැකගැනිමට ප්‍රබල සාධකයක් වන්නේය.වත්මන් ගුවන් විදුලි වැඩසටහන් වල නම කියූ පමණින් ම හාස්‍යයට හේතු වන්නේය.අරුත්සුන් වූ වාචාර්ථයේ යෙදෙන ගිරා පෝතක පිරිසක් ගුවන් විදුලි මාධ්‍යය තුළ අද වන විට බිහිව තිබේ.මාධ්‍යයේ පැවැත්ම තීරණය වන්නේ මාධ්‍යයේ ක්‍රියාකලාපය තුළිනි.ජනමාධ්‍යයන් කෙතරම් තාක්ෂණික අතින් ඉහළ තත්ත්වයක පැවතියද ආචාරධර්ම පිරිහීයාම තුළින් නැවතත් සමාජය ප්‍රාකෘතික අශිෂ්ටත්වය කරා රැගෙන යාමක් සිදුවනු ඇත.ඒ අනුව අදට අවශ්‍ය වන්නේ කල් ඉකුත් වූ ආචාරධර්ම සංග්‍රහය පුස්කොළ පොත් සමඟ එකට බැද තබා එක් එක් මාධ්‍යයන්ට අවශ්‍ය පරිදි සිතූ සිතූ ලෙස මාධ්‍යය තුළ කටයුතු කිරිම නොව වර්තමානයට ගැලපෙන ප්‍රායෝගික වූ ආචාර ධර්ම සංග්‍රහයක් නිර්මාණය කිරිමය.

ප්‍රකට දාර්ශනිකයෙකු වූ ජෝන් ලොක් ජනමාධ්‍ය නිදහස හා වගකීම පිළිබඳ ව මෙසේ පැවසීය. මා අත ඇති සැරයටිය මට ඕනෑ ලෙස වැනිය හැකිය. එහෙත් මාගේ වැනීම අනෙකාගේ නහය ළඟින් කෙළවර විය යුතුය.යනුවෙනි.




  

Tuesday, June 13, 2017

කවුද මේ අයියනායක? හරියටම දැනගෙන වඳිමු ද?




ප්‍රමාණය අතින් කුඩා වුව ද ශ්‍රී ලංකාවේ  ඓතිහාසික පසුබිමත්, සංස්කෘතියත් ගැන සළකන කල ඒකීයත්වය තුළ විවිධත්වයක් පිළිබඳ ලක්ෂණ මනාව පැහැදිලි වේ.එයට කදිම උදාහරණයක් ලෙස වන්නි ප්‍රදේශය හඳුන්වා දිය හැකිය.වන්නිය යන විශේෂණ පදයෙන් හඳුන්වන ප්‍රදේශය ශ්‍රී ලංකාවේ උතුරු කොටස වේ.එනම් යාපන අර්ධද්වීපය, අනුරාධපුරය සහ ත්‍රිකුණාමලය අතර වූ විශාල භුමි භාගයයි. වන්නිය යන පදය පාලි, සිංහල හා දෙමළ මූලාශ්‍රයන් විවිධ අයුරින් අර්ථ කථනය කොට ඇත.ඒ  අනුව වන්නියයනු කැලෑබද ප්‍රදේශය, වියළි කලාපයට අයත් පාලන ප්‍රදේශය, දෙමල හා සිංහලයන් අතර ඇති  විශේෂ කුල ගෝත්‍රයක වාස ප්‍රදේශය යන අර්ථ ප්‍රකට කරයි.
ශ්‍රී ලාංකික සංස්කෘතිය තුල උප සංස්කෘතියක් ලෙස ද හැඳින්විය හැකි වන්නි ප්‍රදේශයේ සංස්කෘතික ලක්ෂණ විවිධ ක්ෂේත්‍රවලට වෙන් කොට අධ්‍යයනය කල හැකිය. එහීදී    ආගමික සංස්කෘතිය විශේෂ කොට සැලකිය හැකිය. ක්‍රි.පූ 3වන ශතවර්ෂයේදී පමණ ශ්‍රී ලංකාවට පැමිණුනු බුදු දහම ප්‍රදේශය තුළ පැවතුණු ආගමික සංස්කෘතිය සමඟ අනුයෝජනය විය.ඒ අනුව මූලික බුද්ධාගමේ ලක්ෂණ තුළට ප්‍රායෝගික දේව, යක්ෂ සහ භුත ඇදහිලි විශ්වාස සම්බන්ධ වී තිබේ.
ශ්‍රී ලාංකික ආගමික සංස්කෘතියෙහි වෙනත් කිසිදු ප්‍රදේශයක බල නොපවත්වන අයියනායක දෙවි, කම්බිලි දෙවි, ඉලන්දාරි දෙවි, කඩවර සහ පස් දේවතාවෝද හත් කට්ටුවේ දෙවිවරු ද පුල්ලෙයාර් ඇදහිමද වන්නි ප්‍රදේශයේ ආගමික සංස්කෘතියෙහි ප්‍රධාන ඇදහිලි හා විශ්වාස අතරට ගැනේ .ඒ අතරින් වන්නි ජනතාව අයියනායක දෙවියන් පිදීම ප්‍රමුඛස්ථානයෙහි ලා සළකනු ලබයි.
සිංහල සංස්කෘතිය හා ද්‍රවිඩ සංස්කෘතිය ඇසුරින් නිර්මාණය වූ විශේෂ අන්තර් සංස්කෘතියක් මෙම ප්‍රදේශය තුළ භින්න බැස තිබේ. විදේශීය ආක්‍රමණයන්ගෙන් ලද බලපෑම ද මෙම සංස්කෘතික හැඩගැසීමට හේතු විය.වන්නිකරයේ ජනතාවගේ සමාජ ජීවිතය, ආගම, දේශපාලනය, ආර්ථික රටාව ආදී සෑම අංගයක්ම මෙම සංස්කෘතික රාමුව තුළ නිර්මාණය වී ඇත.ආගමික සංස්ථාව ඒ අතරින් ප්‍රධාන කොට සැලකිය හැකිය. දෙවියන්, යක්ෂයන් විෂයෙහි පුද පෙත් දීම හා ඒ පිලිබඳ පවත්නා අධික විශ්වාසය මත විවිධ සෙත් ශාන්ති, යාතුකර්ම වල පිහිට අපේක්ෂා කරති.
ශ්‍රී ලංකාවේ උතුරු, මධ්‍යම පලාතේ හා වයඹ පලාතෙත් ගැමි ජනයාගේ ගෞරවාදරයට හා භක්තියට පත්ව ඇති අයියනායක දෙවියන් අස්වනු සරුසාර කර ගැනීම සඳහාත්, ආරක්ෂාව හා ලෙඩ රෝගවලින් අත් මිදීම සඳහාත් පුදනු ලබන දෙවියෙකි. ද්‍රවිඩ සම්භවයක් ඇති මේ දෙවියාට අද්‍යතන වන්නි ප්‍රදේශවල වෙසෙන ගැමි ජනයා සිංහල සම්භවයක් ඇති දෙවියෙකුට ද වඩා ගෞරවයකින් පුදති. මොහු අයියනාර්, ඓයනාර්, කයියනාර්, අයියනාරේ, හරිහරපුත්‍ර, මහා සාස්තා ආදි විවිධ නම් වලින් හඳුන්වනු ලැබේ. රාජ වන්නිය සහ කුමාර වන්නිය යන පලාත් දෙකට ම පොදු වුත් ප්‍රධානත්වය ලබන්නා වූත් දෙවියා අයියනායකය.
අයියනායක වූ කලී ගම්පල යුගයේ භුවනෙකබාහු රජුගේ කාලයේ ආර්ය පිරිසක් සමඟ ලංකාවට පැමිණි අයෙකු යැයි වන්නි උපත් කතාව කියයි. ඉහත නාමය ද්‍රවිඩ නාමයක් බවත් වන්නි පුවත ලියූවෝ ද්‍රවිඩයන් බවත් ඔවුනට වුවමනා වූයේ තමන් ද්‍රවිඩයන් නොව ආර්යයන් බව  ඇඟවීමට සහ තමන් සමඟ පැමිණි දෙවියන්ට මෙ රට තැනක් ලබා දීම බවත් ඇතැමෙකුගේ අදහසයි.
ග්‍රන්ථාගත වූවද, නොවූවද ජනශ්‍රැතිය ආශ්‍රයෙන් ද අයියනායක දෙවියන්ගේ උපත් කතාව පිළිබඳව විවිධ මත තිබේ.
එක් සෘෂිවරයෙක් ඊශිවර දැහන වඩා උමයන්ගනාව අල්ලා ගැනීම පිණිස ඇය පසු පස දිව ගියාය. මෙය දුටු විෂ්ණු දෙවියා ඔවුන් දුවන අතරමග රූමත් තරුණියක මෙන් මැවී සිටිියේය. තරුණිය දුටු සෘෂිවරයා ඇයට වශී විය. ඇයගේ දකුණු අතෙහි දරුවෙකු පිළිසිඳ ගත්තාය. මේ දරුවා දකුණු අතින් උපන් හෙයින් කරේ-නාරේනම් විය.ද්‍රවිඩ බසින් කරේයනු දකුණු අත යන්නයි.පසුව මෙය කයියනාරේ, අයියනාර්, අරියනායගම් සහ අවසානයේ අයියනායක නම් විය.
ඊශ්වර දෙවියා මෝහිණිය දැක ඇය කෙරෙහි කාමාසාවෙන් ඇය වැළඳ ගත්තේය.එයින් දරුවකු උපන් අතර ඔහු හරිහර නමින් ප්‍රකට විය.පසුව ඔහු අයියනායක විය.
ශිව-විෂ්ණු දෙදෙනාගේ සමාගමයේ ප්‍රතිඵලය අයියනායකයි.
අයියනායක දෙවි කවි වලට අනුව හෙතෙම උපුල්වන් දෙවියන්ගෙන් වරම් ලබා ගෙන මෙහි පැමිණි බවත් ඔහු උපුල්වන්ගේ බලයෙන් මවගේ දකුණු ඇලය පලාගෙන උපන් බවත් කියවේ.
අයියනායක දෙවියන්ගේ උපත සම්බන්ධව එකිනෙකට වෙනස් විවිධ කතා පැවතියද පොදුවේ බලන කල අයියනායක උත්පත්තියට ඊශ්වර, උමයන්ගනාව, රාම, විෂ්ණු, උපුල්වන්, ශිව, මෝහිණීය ආදීිහු සම්බන්ධ බව අතීත පුරාවෘත වලට අනුව පෙනෙයි.
අයියනායක දෙවියන්ගේ ලංකාගමනය පිලිබඳව මෙන්ම ඔහුගේ පිරිවර සම්බන්ධයෙන්ද විවිධ මත පවතී. අයියනායක වූ කලී ගම්පල භුවනෙකබාහු රජුගේ කාලයේ ආර්යයන් සමඟ මෙහි පැමිණි අයෙකු බව වන්නි උපත කියයි. අයියනායක යන්න ද්‍රවිඩ නාමයකි.
අයියනායක දෙවි මෙහි පැමිණියේ උපුල්වන් දෙවියන්ගෙන් වරම් ලබා ගෙන බවත් බුදුන් වහන්සේගෙන් ලොව රැකීමට අවසර ලබාගත් බව කියවෙන කෝල්මුර ඇත.ඔහු ඉන්දියාවේ මධුර නුවරින් පැමිණ ලංකාවේ යාපනයෙන් ගොඩ බට වී තිබේ.
මල්වරා දේශයේ උපන් මොහු විෂ්ණු දෙවියන් විසින් සිංහල දේශයේ වැව් බැඳි රාජ්‍යයේ ගොවිතැන් කටයුතු දියුණු කිරිම සඳහා යන ලෙස නියම කලේය.ඔහු තවත් සත් දෙනෙකු සමඟ යාපා පටුනට පැමිණියේය.
කුමාර වන්නි පත්තුවට අයත් වේලාසිය නම් ස්ථානය ඔහුගේ ප්‍රධාන දේවාලය ලෙස සැලකේ.මෙහි වසරකට වරක් විශාල උත්සවයක් පවත්වන අතර එහි දී අයියනායක වෙනුවෙන් දේව දානයක් හා අඩුක්කු මංගල්‍යක් පවත්වනු ලබයි.
අයියනායක වේලාසි අයියනායක නමින් ද හදුන්වන අතර ඔහුට භාෂා 18ක් කතා කළ හැකිය. දිවුල් වැව ඔහුගේ දේවාලයක් තිබේ. පත්තිනිට හා සමාන බලයක් ඇත.කළු යකා හා ගුරුමා මොහුගේ සහචරයෝය. දඹුලු විහාරයෙත් හිඟුරක්ගොඩ දිවාලන් ගල්ගේත් මොහු වෙනුවෙන් වෙන් වූ දේවාල තිබේ.කෝට්ටේ යුගයේ දී මාවටු පටුන නම් නගරය ආසන්නයේ අයියනායක වෙනුවෙන් දේවාලයක් තිබූ බව කෝකිල සංදේශය කියයි.
 අයියනායක දෙවියන් සමග නිරන්තරයෙන් කිසියම් පිරිසක් සිටිි බව සඳහන් වෙයි. ඔවුන් පස් දේවතාවන් ලෙස හදුන්වනු ලබයි. භාරතයේ අයියනායක දෙවියන් වටා මාරක යක්ෂයින් පස් දෙනෙකු සිටි. එය අනුගමනය කල ලාංකිකයන්ද ඔහු වටා පස් දේවතා සංකල්පයක් ඇති කල බව පෙනේ.
අයියනායක දෙවියන් මුළු වන්නි පලාතටම අරක් ගත් දෙවියන් වන අතර ඔහු පිදිම නිසා විවිධ ස්තෝත්‍ර, බුලත් මඬේ, බුලත් තිහං, බුලත් පිදුම් වැනි  සුවිශේෂ පූජා චාරිත්‍ර ඇති විය. අයියනායක දෙවියන්ගේ ආයුධය වන්නේ ගිනි සළඹයි. ඔහුගේ ශරිරය කාල වර්ණය. වාහනය සුදු ඇතෙකි. දේවාභරණය වන්නේ රන් බොණ්ඩි වැලකි. දෙමළ භාෂාවේ          බොන්දියනු ලී කඩු විශේෂයකි.
දකුණු ඉන්දීයයන් පුදන අයියනායර් අශ්වයෙකු පිට නැඟි ගමන් කරයි.පල්ලව  සංස්කෘතියේ ආභාෂය පෙන්වන  අනුරාධපුරයේ ඉසුරුමුණීයේ මිනිසා සහ අශ්වයා ලෙස හඳුන්වන කැටයම දකුණු ඉන්දීය අයියනාර් දෙවියන්ගේ බව මැතක පළ වූ අදහසකි.
අයියනායක දෙවියන්ට කෙරෙන පුද පූජා පිලිබඳ සලකා බැලිමේදී ඔහුගේ සම්භවය දුරාතීතයට සම්බන්ධවෙයි.  ඉපැරණි ගෝත්‍රිකයෝ වනයේ සැරිසරන විට මාර්ගය මතක තබා ගැනීමට හෝ අනෙකාට දැන ගැනීම සඳහා යන එන මාර්ගයේ අතු කැබැල්ලක් එල්ලීම සිරිතක් කොට ගත්හ.මෙම සිරිත පසුව අයියනායක දේව සංකල්පය සමඟ මිශ්‍ර විය.
මුට්ටි මංගල්‍යය, වැවි අලුත් සහල් මංගල්‍ය අයියනායක දෙවියන්ට ගෞරවය සඳහා පවත්වනු ලබන ප්‍රධාන ශාන්තිකර්ම දෙකකි.
අයියනායක දෙවියන් ලංකාවට පැමිණියේ කුමන කාලයකද යන්න ස්ථිර වශයෙන් කීමට ප්‍රමාණවත් ඓතිහාසික සාධක නැත. එහෙත් පුරාවිද්‍යාඥයන්ට අනුව දැනට හමු වී ඇති අනුරාධපුර ජේතවනාරාම දාගැබේ වාහල්කඩක ගල්කුලක ඇතෙකුත්, අශ්වයෙකුත්, කුඩා සතෙකුත් සහිත වාහනයක ආරූඪ වී සිටින ආකාරය පෙන්වන කැටයම අයියනායකගේ විය හැකි බව පවසයි. 
දකුණු ඉන්දීය තොරතුරු වලින් කියවෙන අයියනායක දෙවියන් ඇතුන්, අසුන් හෝ වෙනත් සතුන් පිරිවරා ඔවුන් පිට නැගී ගමන් කරයි.එමෙන්ම අනුරාධපුර ජේතවනාරාම දාගැබේ වාහල්කඩෙන් හමුවී ඇති කැටයම් කළ පිලිරුව ලාංකික අයියනායකගේ නම් එය භාරතීය අයියනායක පිලිරුවට සමාන වන අවස්ථාවකි.
ඉන්දීය අයියනාර් ග්‍රාමාරක්ෂක දෙවියෙකු ලෙස ගොවි ජනතාව පුද පූජා පවත්වනු ලබයි.ලාංකික අයියනායක දෙවියාද වන්නි ප්‍රදේශයේ ග්‍රාමාරක්ෂක දෙවියෙකි.වැව, වනය ගොවිතැන් කටයුතු හා ගැමියා ඔහුගේ ආරක්ෂාව යටතේ පවතී.
භාරතීය අයියනායර්ට බිලි පූජා නොකරති.ලාංකික අයියනායකට ද බිලි පූජා නොකරන අතර දෙරටෙහිම ඔහු වෙනුවෙන් පලතුරු, කැවුම් කිරිබත්, සුවඳ දුම් පුදති.
ඒ අනුව වර්තමාන උතුරු මධ්‍යම පලාතත්, යාපනය ප්‍රදේශයත් සහ වයඹ පලාතේ පුත්තලම දිස්ත්‍රික්කයට අයත් කොටසත් ඉතිහාසයේ වැඩිම කාලයක් ද්‍රවිඩ ආක්‍රමණයන්ට යටත්ව පැවති හෙයින් ඉන්දියානු ද්‍රවිඩ සම්භවයක් ඇති අයියනායක දේව ඇදහිල්ල දිවයිනේ වෙනත් ප්‍රදේශවලට වඩා ඉහත ප්‍රදේශ වල ජනප්‍රිය වූ දේව ඇදහිල්ලක් බවට පත් විය.

මෙහි පවතින අන්තර් සංස්කෘතික ලක්ෂණ අනුව හදුනාගත හැකි වන මුඛ්‍ය ලක්ෂණය වන්නේ අයියනායක දෙවියන් ද්‍රවිඩ සම්භවයක් ඇති ඉන්දීය සංස්කෘතියෙන් පැමිණි අයෙකු බවය. නමුත් ලාංකිකයන් ඔහුගේ ද්‍රවිඩ ලක්ෂණ වසන් කොට සිංහල ඌරුවට සකස් කර ගෙන තිබේ.ඔහු හදුන්වන්නේද අයියනායක මුත්තා නමිනි. ඔහු වයෝවෘද්ධ සිංහල ගැමියෙකු ලෙස මූර්තිමත් කර තිබේ.ඇතැම් දේවාල වල ඇතුලත කුටියේ කිසිවෙකුට දර්ශනය නොවන පරිදි දකුණු ඉන්දීය ඌරුවට මූර්තිමත් කරන ලද අයියනායක පිළිමදැකගත හැකිය .ඒවා ඉතා කලාතුරකින් දැකිය හැකි වන අතර එම දේවාලයේද ඉදිරිපිට ඇත්තේ අයියනායක මුත්තාගේ දේව රූපයකි.මෙයින් පැහැදිලි වන්නේ මතු බුදු වෙතැයි සිංහල ගැමියන් විශ්වාස කරන අයියනායක දෙවි සිංහල බෞද්ධ ගැමියන්ගේ දේව ධූරාවලිය තුළ බෞද්ධ බවට පත් කරගෙන ඔහු සිංහල ගැමි සමාජ සංස්ථාව තුළට ඈදාගෙන ඇති බවයි.

Thursday, June 1, 2017

ග්‍රාමීය ආර්ථික සංවර්ධනය සම්බන්ධව ශ්‍රී ලංකාවේ සැලසුම්කරණය ප්‍රමාණවත්ද?










ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ආර්ථික සංවර්ධනය පිළිබඳ ඉතිහාසය මෙරට පරිපාලනයේ ඉතිහාසය හා සමගාමී ව ඈත අතීතය දක්වා දිවෙන්නකි. මුළුමනින් ම කෘෂිකාර්මික ආර්ථික රටාවකට  හුරුව සිටි එකල ජනතාව ගමසමාජ හා ආර්ථික ක්‍රියාවලීන්ගේ වැදගත් ම ස්ථානය ලෙස සළකන ලදි.මේ හේතුවෙන් එකල රජවරු පවා ග්‍රාමීය සමාජය මුල්කොට ගත් ග්‍රාමීය සංවර්ධනයට ප්‍රමුඛත්වය දෙන ලදි.කෙසේ වුව ද බටහිර ජාතින්ගේ ආගමනයෙන් පසුව ශ්‍රී ලාංකේය සමාජය ආර්ථික, සමාජයීය, දේශපාලනික හා සංස්කෘතික වශයෙන් විශාල පරිවර්තනයකට බඳුන් විය.එතෙක් මෙරට ආර්ථිකයේ ප්‍රධානතම පාර්ශවකරු වූ සාම්ප්‍රදායික කෘෂිකාර්මික අංශය වෙනුවට වාණිජ වැවිලි කෘෂි ආර්ථිකය ස්ථාපිත වීමත්, ඒ හා ආශ්‍රීත කටයුතු  නාගරික මධ්‍යස්ථානයන්හි සංකේන්ද්‍රණය වීමත් හේතුවෙන් මෙරට ආර්ථික හා සමාජ තත්ත්වයන්හි බරපතල අසමානකම් දෘශ්‍යමාන වන්නට විය.මෙම ග්‍රාමීය නාගරික අසමතුලිතතාව සමනය කොට ආර්ථික ප්‍රතිලාභ ගැමියන් හා දුප්පත් ගොවීන් වෙත ගෙන යාමේ අරමුණින් ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ අවධානය ග්‍රාමීය සංවර්ධනය කෙරෙහි යොමු වීම, මෙරට ග්‍රාමීය සංවර්ධන සංකල්පයේ මූලාරම්භය විය. ලංකාවේ ජනගහනයෙන් සියයට අසූවක් පමණ ග්‍රාමීය ප්‍රදේශ වල වාසය කිරීම,එම ප්‍රදේශ වල දරිද්‍රතාව ඉහළ මට්ටමක පැවතීම, සෞඛ්‍ය, අධ්‍යාපන හා අනෙකුත් යටිතල පහසුකම් පහළ මට්ටමක පැවතීම ආදිය සැළසුම්කරණයේ දී ග්‍රාමීය ප්‍රදේශ සඳහා ප්‍රමුඛතාව ලබා දීමට හේතු විය.

1948 සිට වත්මන් කාල සීමාව දක්වා එදා මෙදා තුර පැවති රජයන් විසින් ග්‍රාමීය සංවර්ධනය සඳහා ගන්නා ලද ප්‍රයත්නයන් හඳුනාගත හැකිය.ග්‍රාම සංවර්ධන සමිති පිහිටු වීම,සමූපාකාර ක්‍රමය පුළුල් කිරීම,හරිත විප්ලවය හඳුන්වා දීම,ගොවි ජනපද ව්‍යාපාරය පුළුල් කිරීම,කුඹුරු පනත ක්‍රියාත්මක කිරිම,මහජන බැංකුව පිහිටුවීම,1954-1960 සය අවුරුදු ආයෝජන වැඩ සටහන,1959-1968 දස අවුරුදු සැලැස්ම,1972-1976 පස් අවුරුදු සංවර්ධන සැලැස්ම මෙරට මුල් කාලීන ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘතීන් අතර වැදගත් වේ.

1978 න් පසු ඇරඹුණු සංවර්ධන ව්‍යාපෘතීන් අතුරින් ඒකාබද්ධ ග්‍රාමීය සංවර්ධන වැඩසටහන ඉතා වැදගත් වේ.ගම්උදාවව්‍යාපාරය තුළින් ශ්‍රී ලංකාව පුරා වෙසෙන ග්‍රාමීය ප්‍රජාව සඳහා නිවාස ඒකක දසලක්ෂයක් ගොඩ නැංවීමත්,පොදු පහසුකම් සැපයීමත් මෙහි අරමුණු විය.දුගීභාවය තුරන් කිරිම අරමුණු කොටගත් ජනසවියවැඩසටහන 1989 වර්ෂයේදී ආරම්භ විය.1995 වසරේ සිට මෙය සමෘද්ධිවැඩසටහන නමින් හඳුන්වන ලදි.2004 න් පසු ග්‍රාමීය සංවර්ධනය ඉලක්ක කරගත් සංවර්ධන වැඩසටහන් ලෙස ගම නැගුම, දිවි නැගුම,සමෘද්ධි සහනාධාර වැඩසටහන් වැදගත් වේ.


නිදහසින් පසු ක්‍රියාත්මක වූ සංවර්ධන සැලසුම් එක් රටාවකට අනුගත නොවූ විවිධ ආකාරයට සකස් කර ඇති බව හඳුනාගත හැකිය.ක්‍රියාත්මක කළ සංවර්ධන වැඩසටහන් වලට සාපේක්ෂව ඉන් අපේක්ෂා කළ අරමුණු, ඉලක්ක කරා ලඟා වීමට හැකි වූයේ අල්ප වශයෙනි.රටේ රාජ්‍ය බලය මාරු වීම,ව්‍යාපෘතීන්ගේ කළමණාකරණ දුර්වලතා සහ දේශපාලන ඇඟිලි ගැසීම් හේතුවෙන් එකී අපේක්ෂිත අරමුණු අසාර්ථක වී තිබේ.ග්‍රාමීය සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරිම මෙන් ම ඒවායෙහි කාර්යක්ෂම හා ප්‍රායෝගිකතාව පිළිබඳව වැඩි අවධානයක් යොමු නොවීම මෙයට ප්‍රබල කරුණකි.රාජ්‍ය බලය මාරු වීමේදී පවතින සංවර්ධන ව්‍යාපෘති තවත් ප්‍රවර්ධනය කරමින් පවත්වාගෙන යාම මිස අතරමග අත්හිටුවීම සංවර්ධන ඉලක්ක කරා ලඟා වීමට බාධාවකි.  එවැනි අවස්ථා වලදී කබලෙන් ලිපටවැටෙන්නේ ග්‍රාමීය ජනතාවය.ඒ අනුව වඩාත් කාර්යක්ෂම ග්‍රාමීය ආර්ථික සංවර්ධනයක් උදෙසා සිදුකළ යුතු වන්නේ දේශපාලනීකරණයෙන් බැහැර වූ ක්‍රමවත් හා ස්ථිතික වැඩ පිළිවෙළක් අනුගමනය කිරීමය.