සිංහලයේ අවසන් අග නගරය වු ලක්දිව කන්ද උඩරට මහනුවර හන්තාන බහිරවකන්ද වැනි
කඳු පාමුල පිහිටි ස්වභාව සෞන්දර්යයේ කදිම නිර්මාණයකි. ඉපැරණි රජ මාලිගා සංකීර්ණය
ආසන්නයේ ඇති උඩවත්ත කැලේ සුන්දර වන පියසෙකි. පේරාදෙණිය පාලම පසු කළ විට නෙත ගැටෙන
පේරාදෙණිය උද්භිද උද්‍යානය මනහර සුවඳ මලින් නන් විසිතුරු තුරු වදුලින් ගහණය. එය
දෙස් විදෙස් නරඹන්න්ගේ නෙත් සිත් පිනවන මනෝඥ වු මල් උයනකි. නගරය වට කොට ගලා බසින
මහවැලි නදිය හා නගරය මධ්‍යයේහි ඇති කරි සයුර නම් වු නුවර වැව නගරයේ ස්වාභාවික
විචිත්රත්වය වඩාත් අසිරිමත් කරවයි. පැරණියේදී ශ්‍රී සෙංඛණ්ඩ ශෛලාභිධාන ශ්‍රී
වර්ධනපුරය වශයෙන් හැඳින්වු මෙම නගරය පසු කලෙක කන්ද උඩරට මහනුවර වශයෙන් ප්‍රකට විය.
සෙංකඩගල රාජකීය පරිශ්‍රය තුල දළදා මාළිගාව පිහිටා ඇත.සිරි දළදා
මාළිගාව ලෙස හඳුන්වන්නේ බුදුරජාණන් වහන්සේගේ දන්ත ධාතූන් වහන්සේ තැන්පත් කර ඇති
ගෘහයයි. බෞද්ධයෝ මෙය ගන්ධ කුටියක් හෙවත් බුදුරදුන් වැඩවාසය කරන ගෘහයක් ලෙස සලකති.
දළදා වහන්සේට ඔවුන් ගෞරව කරනුයේ ජීවමාන බුදුරදුන් ලෙස පිළිගනිමිනි. මේ නිසා දළදා
වහන්සේ ගේ වැඩහිදිනා මැදුර බුදුරදුන් දිවමන් සමයේ වැඩවාසය කළ දඹදිව බරණැස
ඉසිපතනාරාමය, වේළුවනාරාමය, පූර්වාරාමය අදී විහාර මන්දිර හා සම
තත්ත්වයේලා සැලකිම බෞද්ධයන්ගේ සිරිතයි.
ලංකාවේ වැඩ සිටිනා 'සිරි දළදා වහන්සේ' යනු සම්බුද්ධ
ආදාහන පූජෝත්සවයෙන් පසු ඉතිරි වූ සිව් දළදාවන් අතරින් එකකි. එය කළිඟු රට දේශපාලන
වියවුල් අවස්ථාවක ලංකාවට වැඩම කරනු ලැබුවේ දන්ත කුමරු හා ඔහුගේ සොයුරිය වූ හේමමාලා
කුමරිය විසිනි. ඒ ආසන්න වශයෙන් ක්‍රි.ව. 3 වන ශතකයේ දී පමණය. එවකට ලංකාවේ රජු වූයේ කීර්ති ශ්‍රී මේඝවර්ණාභය රජුය.
දළදා වහන්සේ ලංකාවේ අති පූජනීය ආගමික වස්තුවක් බවට පත් වූයේ එතැන් සිටය. එහෙත් පසු
කාලයේ එය ආගමික වස්තුවක් පමණක් නොව දේශපාලන වටිනාකමක් ඇති වස්තුවක් බවට ද පත්වන්නේ
දළදා වහන්සේ හිමි පුද්ගලයා ලංකාවේ රජු සේ පිළිගැනිමක් ඇති වන නිසාය. මේ නිසා
ලංකාවේ බලයට පත්වන්නේ යම් අයෙක් ද හේ දළදා වහන්සේගේ නීත්‍යනුකූල භාරකරුවා බවට ද
පත් වෙයි. දළදා වහන්සේ ආරක්ෂා කිරීමට ඔහුට ප්රවේණි උරුමයක් තිබූ අතර එය සුරැකීම
ඔහුගේ රාජ්‍යත්වය ආරක්ෂා කර ගැනීමක් ද විය. මේ නිසා සෑම විටම දළදා මැඳුර ඉදි වූයේ
රාජ මාළිගය සමීපයෙනි. එයට විශේෂ ආරක්ෂාවක් ලැබිණි.
පොළොන්නරු යුගයේ දී දළදා වහන්සේට කෙතරම් ආරක්ෂාවක් සැලසී ද යත් මේ සඳහා ම
විශේෂයෙන් පුහුණුව ලත් වේලයික්කාර සේනාවක් ඉන්දියාවෙන් ගෙන්වා සේවයේ යොදවා තිබුණි.
මේ බව පොළොන්නරුව අටදාගෙය ආසන්නයෙන් ඇති වේලයික්කාර සෙල්ලිපියෙන් පැහැදිලි වේ. මේ
ආකාරයට දළදා මාලිගය රජ මාළිගය සමීපයේ දැඩි රැකවල් මැද තිබුණ ද මහජන පුද පූජාවට
පාත්‍ර වීම වැලකී ගියේ නැත. විවිධ හේතුකාරණා අනුව දළදා වහන්සේට විවිධ පුද සත්කාර
හිමි වූ අතර දළදා වහන්සේ හා බැඳි සංස්කෘතියක් බිහි විය. දූර්භික්ෂ දුරු කිරීමේ
හැකියාවක් නියං සමයේ වැසි වැස්සවීමේ බලයක් දළදා වහන්සේට ඇතැයි වැසියෝ විශ්වාස කළහ.
මේ නිසා දළදා වහන්සේ නිරනිතරයෙන් ම පුද පූජාවට පාත්‍ර විය. රාජධානිය විවිධ ස්ථාන
වලට ගමන් කළ සෑම අවස්ථාවක ම දළදා මාළිගය ද ඒ සමග ම ඒ ඒ ස්ථාන වල ඉදි විය. අප ජීවත්
වන යුගයට අදාළව එහි වත්මන් නවාතැන මහනුවර හෙවත් සෙංකඩගල පුරය යි. සෙංකඩගල පුරයේ
දළදා මැඳුර ලෝ ප්‍රකට බෞද්ධ ස්මාරකයකි. සෙංකඩගල පුරයේ මුල්වරට දළදා මැඳුරක් ඉදි
වූයේ පළමුවන විමලධර්මසූරිය රජ දවසය. එය පළමුව දෙමහල් මන්දිරයක් ලෙස ඉදිකළ ද පසුව එතුමා විසින් ම එය තෙමහල් මන්දිරයක්
බවට පත්කරන ලදි.මහාවංසයේ ද , එළු දළදා
වංශයේ ද මේ පිළිබඳ තොරතුරු සඳහන් වේ. එහෙත් මේ දළදා මැදුර වර්තමානයේ අප දකින දළදා
මැඳුර ම නොවේ.
මේ රජුට පසු කාලයේ දෙවන විමලධර්මසූරිය රජු ද තෙමහල් දළදා මැඳුරක් කරවූ බව
සඳහන් වේ පළමු විමලධර්මසූරිය රජු කර වූ තෙමහල් දළදා මැඳුර දෙවන රාජසිංහ රජ දවස ප්රතිසංස්කරණයකට
හෝ ප්රතිනිර්මාණයකට ලක් කළ බව සඳහන් වේ. ඊට හේතුව පෘතුගීසීන් විසින් මහනුවර නගරයේ
දී සිදුකළ විනාශය නිසාය. කෙසේ වූව ද දෙ වන විමලධර්මසූරිය රජු කර වූ තෙමහල් දළදා
මැදුර පසුව ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු විසින් ප්‍රතිසංස්කරණය කරවා නව
සිත්තම් කරවා අලංකාර කර වූ බව ද ඉතිහාස මූලාශ්‍රය වල සඳහන් වේ. මෙම සිතුවම්කරණයේ දී ඒ සඳහා ජාතක කතා
දෙතිසක් පාදක කර බව ද සඳහන්ය. ශ්‍රී විජය රාජසිංහ රජු දළදා මැඳුර විචිත්‍ර වස්ත්‍රයෙන්
අලංකාර කරවීය. මෙහි දී වස්ත්‍ර යන්නෙන් අදහස් වූයේ පෙතිකඩ සිතුවම් ද යන්න
අපහැදිලිය. දළදා මාළිගාව දෙස් විදෙස් ප්‍රකට වූයේ ඊට ආසන්නයේ ඉදි වූ ගොඩනැගිල්ලක්
නිසාය. ඒ පත්තිරිප්පුවයි. පත්තිරිප්පුව දළදා මැඳුරට එක් වූයේ ලංකාවේ අවසන් රජ ශ්‍රී
වික්‍රම රාජසිංහ රජ දවසයි. කෙසේ වූව ද දළදා මැඳුරට ආසන්නව දැනට ඉතිරිව පවතින
ගොඩනැගිලි බහුතරය අයත් වන්නේ ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජ දවසටය. එහෙත්
මහනුවර දළදා මැඳුරක් මුල්වරට ඉඳිකිරීමේ ගෞරවය හිමි වන්නේ පළමුවන විමලධර්මසූරිය
රජතුමාටය.
සාමාන්‍යයෙන් දළදා මැඳුරේ ඊට අනන්‍ය ගෘහ නිර්මාණාංග කිහිපයක් තිබේ. ඉන්
ප්‍රධාන නිර්මාණය පත්තිරිප්පුවයි. පත්තිරිප්පුව දළදා මැඳුරට එක් වූයේ ශ්‍රී වික්‍රම
රාජසිංහ රජ දවසය. රාජසිංහ රජු මේ නිර්මාණය කළේ පෙරහැර නැරඹීමේ කාර්යය සඳහා යැයි
මතයක් තිබේ. පත්තිරිප්පු යනු දමිළ වදනකි. එහෙත් පත්තිරිප්පුව මුල් කාලීනව දළදා
මාළිගයේ කොටසක් නොවූ අතර එය දළදා මාළිගයට පූජා කරන ලද්දේ මෑත කාලයේ ය.
මහ වාහල්කඩ යනු මාළිගයට පිවිසීමට ඇති ප්‍රධාන දොරටුව යි. එය දිය අගල
මතින් ඇති පාලම සමග සකස් කර ඇත. මේ ආශ්‍රිතව ඇත්තේ උඩරට සම්ප්‍රදායෙන් කළ
සඳකඩපහනකි. පූර්ණ නෙළුම සහිතව සත්ත්ව රූපාදියෙන් තොරව ලතාකර්මාදියෙන් සැරසූ මෙහි
මූලික හැඩය ත්‍රිකෝණාකාරය. මේ දෙ පස ඇති මුරගල් විශේෂ වන්නේ ඒවායේ ඇත්තේ ඇතෙකු
පිට නැඟි ඇත්ගොව්වෙකුගේ සටහනක් වීම නිසා ය. මෙය මුරගලක් ම දැයි තර්කයක් ඇති මුත්
මුරගල පිහිටුවන තැන ස්ථානගත කර ඇති නිසා මුරගල නමින් හඳුන්වමු.
මහ වාහල්කඩට පසු අඹරාව හෙවත් උමගය යටින් ගොස් හේවිසි මණ්ඩපයට පිවිසිය
හැක. නරේන්ද්‍රසිංහ රජු කරවූ දෙ මහල් දළදා ගෙය මෙතැන දී දැකගත හැක. එහි පහළ මහල
පල්ලෙමාල නමින් හැඳින්වෙන අතර ඉහළ මහල උඩුමාල හෙවත් වැඩහිටින මාළිගාව නමින්
හැඳින්වේ. පල්ලේමාල කොටස් දෙකකින් යුක්තය. දිග් ගෙය හා මහ අරමුදල නමිනි.
රාජමැතිවරුන් හා සාමාන්‍ය ජනයා කලින් කලට දළදා වහන්සේ උදෙසා කළ පරිත්‍යාගයන්
තැන්පත් කර ඇත්තේ මහඅරමුදල් ගෙයිහි ය. උඩුමාල දැවමය, ඇත්දත්මය හා ලෝහමය කැටයමින් අලංකාර කර
ඇත්තේ ය. එහි ප්‍රධාන කොටස් 3කි. ගඳකුටියක හෝ විහාරයක හැඩයකින් යුතු ප්‍රධාන දෙ කොටස හඳුන්කුනම නම්
වේ. දළදා වහන්සේ වැඩහිටින කොටස වැඩහිටින මාළිගය නම් වේ. සාමාන්‍යයෙන් දළදා ප්‍රදර්ශන
පැවත්වෙන්නේ පළමු හඳුන්කුනමේ ය. ඉහළ මහළේ දෙ වැනි කුටියට වම් පසින් ඇති පටු බරාඳය
කවිකාර මඩුව නම් වේ. දළදා වහන්සේ උදෙසා සත්කාරක කව් ගී ගැයෙන්නේ මෙහි දී ය. වැඩසිටින
කුටිය හා ඒ ආසන්න කුටි දෙක සාමාන්‍ය ව්‍යවහාරයේ දී කත්තියන බරාඳ නමින් ද සෙසු කුටි
ගෙපැලුම් බරාඳ නමින් ද හැඳින්වේ. ආලත්ති බරාඳය නමින් බරාඳයක් ද වෙයි. එය ආලත්ති
අම්මාවරුන් උදෙසා වෙන් වී ඇත. සාමාන්‍ය ජනයා පිවිසෙන පියගැටපෙළට අමතරව භික්ෂූන්
වහන්සේලා හා තේවා භාර නිළධාරීන් වෙනුවෙන් වෙනම ම පියගැටපෙළක් මෙහි වෙයි. වැඩසිටින
කුටියට පසුපසින් ඇති හළු මණ්ඩපයේ ඇත්තේ රජුගේ වස්ත්‍ර හා තේවාවන්ට යොදා ගන්නා
සඳුන් ය. 1956 වසරේ කළ ප්‍රතිසංස්කරණ
වල දී වැඩසිටින මාළිගය ආවරණය වන සේ දෙ පසින් මහල් ගොඩනැගිලි දෙකක් ඉදිකර තිබේ.
ඉන් වම් පැත්තේ ගොඩනැගිල්ල වෙන් කර ඇත්තේ කාරියකරවන රාළගේ කාර්යයන්ටත් භික්ෂූන්ගේ
දාන ශාලාවටත් තේවා භාර භික්ෂූන්ගේ කුටිවලටත්ය. අනෙක් ගොඩනැගිල්ල දියවඩන නිළමේට
හා සෙසු නිළධාරීන්ගේ පරිහරණය පිණිස වෙන් වී ඇත. 1956 වසරේ සම්බුද්ධ ජයන්තිය සමරා ඉදි කළ අලුත් මාළිගයේ පී. බී. නුගවෙල නිළමේ
අනුස්මරණ කෞතුකාගාරය ස්ථාපනය කර තිබේ.
දළදා වහන්සේ තැන්පත් කර ඇත්තේ එකක් තුළ එකක් බැගින් වන සේ තැන්පත් කළ
ස්වර්ණමය කරඬු 7කින් හත්
වැන්න තුළ ය. දළදා වහන්සේ පෙරහැරේ රැගෙන යන විට තැන්පත් කරන කරඬුව ඇත්තේ දළදා
කරඬුවට දකුණු පසිනි. දැනට මහ අරමුදලේ තැන්පත් කර ඇති කරඬුව ඉන්දියාවේ තක්ෂිලාවේ
ධර්මරාජික ස්ථූපයෙන් හමු වූ සර්වඥ
ධාතු තැන්පත් කර තිබූ කරඬුව යි.
දියරැලි බැම්ම හෙවත් වලාකුලු බැම්ම ද දළදා මාළිගයේ විශේෂ ගෘහ නිර්මාණ
අංගයකි මෙය ද ශ්‍රී වික්‍රම රාජසිංහ රජ දවස ඉදිකළ එකකි. එහි නාමය බිහි වූයේ හැඩය නිසා
ද යන්න අපහැදිලි නමුදු දියරැලි හැඩයේ ම මෙබඳු බැමි ඇති නිසා මුල් කාලීන දියරැලි
බැම්මක විකාශයකැ'යි සිතිය හැක. මෙහි රටාවක් සේ විහිද ඇති
කවුළු එකල පහන් දැල්වීමට සකස් කළ ඒවාය. මේ කවුළු වල පහන් දැල් වූ විට ඇතිවන සුන්දර
දසුන මනසින් පවා රස විඳිය හැකිය.
දළදා මැඳුරේ පත්තිරිප්පුව නිමවන්නේ එකල ප්‍රකට නිර්මාණ ශිල්පියෙකු වූ
දේවේන්ද්‍ර මූලාචාරී විසිනි. මෙය නිර්මාණය කිරීමේ දී මූලාචාරීන් මුහුණ දුන් විවිධ
ගැටළු ආදිය පිළිබඳ විවිධ කතා පුවත් ජන සමාජයේ පවතී. මූලාචාරී හා ඊර්ෂ්‍යාවෙන් පසු
වූවන් ඔහු රාජ උදහසට ලක් කරවීම පිණිස විවිධ අකටයුතු සිදුකළ ආකාරය ද එම කතා අනුව
සිතාගත හැක.
මාළිගාව ආසන්නයේ ඇති සෙසු විශේෂ නිර්මාණ වන්නේ මඟුල් මඬුව හා රජ
මාළිගයයි. මේවා පිළිබඳව ද විවිධ පරීක්ෂණ සිදුකර ඇති අතර විවිධ නිගමනයන්ට ද එළඹ
තිබේ. කෞතුක වටිනාකමක් සහිත මේ ගොඩනැගිලි ද වන්දනාකරුවන්ගේ අවධානය දිනාගෙන ඇත.
දළදා මැඳුරේ සිතුවම් ද කලා රසිකයන් අතර ප්රකටය. මේ නිර්මාණ වලට අමතරව
දළදා මැඳුරේ ඇති අනෙක් ගෘහ නිර්මාණ අංගය නම් දැවයෙන් කළ කුලුනු ය. මධ්‍ය පේකඩ
සහිතව කළ මේවා මහනුවර යුගයට ආවේණික හැඩයන්ගෙන් යුක්තය. කුලුනේ පේකඩ විවිධ කැටයම්
වලින් අලංකාර කරවා ඇත.
දළදා මාළිගයේ සිත්තම් නිර්මාණය කිරීමේ කාර්යය කීර්ති ශ්‍රී රාජසිංහ රජු
විසින් පවරනු ලැබූයේ හිරියාලේ හිත්තර නයිදේට ය. මේ සිතුවම් අයත් වන්නේ මහනුවර
යුගයේ ශුද්ධ සම්ප්‍රදායටය. මේ සිතුවම් අතරින් ප්‍රධාන දොරටු අභියස සිත්තම් හා තවත්
සිත්තම් සමහරක් දොරටියාවේ යූ. ටී. ටී. සිරිල් සිත්තරාවිසින් 1973 වසරේදීප්රතිසංස්කරණය
කර තිබේ.
දළදා තේවාව-මෙහි තේවාව පැවත්වීම වසරකට වරක් අස්ගිරි හා මල්වතු පාර්ශ්ව
අතර හුවමාරු වේ. මාළිගාවේ දිනකට තෙ වරක් තේවාවන් පැවත්වෙන අතර හේවිසි මණ්ඩපයේ දිනකට
තෙවරක් පවත්වන හේවිසි නාද පූජාවෙන් මේ තේවාවන් සංකේතවත් වේ.